Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික තරගාවලියට රටවල් 5 කින් එති

ජාතික තරගාවලියට රටවල් 5 කින් එති

editorial - 2022 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මෙම වසරේදී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල හා පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම් අවසන් නිර්දේශ ලබන 100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ලබන අප්‍රේල් 8, 9, 10 යන දිනවල දියගම මහින්ද රාජපක්ෂ පිටියේදී පැවැත්වේ.

ඒ සඳහා ආසියානු රටවල් පහකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආරාධනා ලබා සිටි අතර, ඒ සඳහා දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වය දහසකට ආසන්න වේ.

මෙවර ජාතික තරගාවලියේ වැදගත්කම වන්නේ, එය ශත සංවත්සර ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය බවට පත්ව තිබීමයි. ආසියාවේ පැරැණිතම (1922) තෙවැනි මලල ක්‍රීඩා නිල පරිපාලන ඒකකය ස්ථාපිත කර තිබෙන රට බවට එහිදී ශ්‍රී ලංකාව පත්ව තිබේ.

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ශත සංවත්සරය නිමිත්තෙන් අප්‍රේල් 7 වැනිදා පෙරවරු 10.30ට නිල සමරු උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය කටයුතු යොදා තිබේ.

ඒ අනුව එම උත්සවයෙන් පසු දිනයේ සිට ශත සංවත්සර ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය පැවැත්වේ. 99 වැනි ජාතික ශූරතා තරගාවලිය මලල ක්‍රීඩා ආයතනය පවත්වා අවසන් කළේ පසුගිය (2021) ඔක්තෝබර් 30, 31 දෙදින සුගතදාස පිටියේදීය.

මෙම වසරේ තරගාවලිය අප්‍රේල් මාසය ආරම්භයේදීම පැවැත්වීමට තීරණය කර ඇත්තේ එය මෙම වසරේ ජුලි-සැප්තැම්බර් කාල සීමාවේදී පවත්වා අවසන් කෙරෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල හා ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම් නිර්දේශ ලබන තේරීම් තරගාවලියක් බවට එය පත් කිරීමෙනි.

22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය බර්මින්හැම් නුවරදී පැවැත්වීමට නියමිතව ඇත්තේ අගෝස්තු 2 සිට 7 වැනිදා දක්වාය. ඒ සඳහා අවම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි කිරීමට මලල ක්‍රීඩා ආයතනය තීරණය කර ඇත.

එය බොහෝ විට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනකුට පමණක් සීමාවනු ඇත. එහිදී ශ්‍රී ලංකා උස පැනීමේ ක්‍රීඩක උෂාන් තිවංක පෙරේරා (මීටර 2.30) හා සාරංගි ද සිල්වා (දුර පැනීම කාන්තා මීටර 6.65) ඒ සඳහා නිර්දේශ ලබා ගැනීමේදී ඉදිරියෙන්ම පසු වේ.

මේ අතර චීනයේදී සැප්තැම්බර් 16 සිට 22 වැනිදා දක්වා පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 23 දෙනකුගේ පොරොත්තු ලේඛනයක් තරග සංවිධායකයන් වෙත ඉදිරිපත් කර තිබේ.

ඊට ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම් තුනක් ද (මීටර 400x4 - පිරිමි, මීටර 100x4 - කාන්තා, මීටර 100x4 - මිශ්‍ර) ඇතුළත් කර තිබේ. ආසියානු ක්‍රීඩා උළෙල සඳහා නිර්දේශ ලබා ගැනීමේ වැඩි අවස්ථාවක් දැනට හිමි කරගෙන තිබෙන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනකුම වේ.

ඔවුන් අතර කලින් සඳහන් වූ උෂාන් තිවංක පෙරේරා හා සාරංගි ද සිල්වා හැරෙන්නට නිලානි රත්නායක (මීටර 3000 – බාධක - විනාඩි 9 තත්පර 49.70), සුමේධ රත්නායක (හෙල්ල විසි කිරීම – පිරිමි - මීටර 81.26), ඩිල්ෂි කුමාරසිංහ (මීටර 800 – කාන්තා - විනාඩි 2 තත්පර 2.52), යුපුන් අබේකෝන් (මීටර 100 – පිරිමි - තත්පර 10.15), කෞශල්‍යා පෙරේරා (රිටි පැනීම – කාන්තා - මීටර 3.70), රොෂාන් රණතුංග (මීටර 110 – කඩුලු - තත්පර 13.89), ගයන්තිකා අබේරත්න (මීටර 1500 – කාන්තා - විනාඩි 4 තත්පර 9.12) ආසියානු ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ නිර්දේශ ලබා ගැනීමේ වැඩිම ඉඩක් ලබා තිබේ.

එස්.එල්.ටී. මොබිටෙල් අනුග්‍රහයෙන් අප්‍රේල් 8 වැනිදා පෙරවරු 7.00ට මීටර 10000 (කාන්තා) ඉසව්වෙන් ආරම්භ වන සියවැනි (100) ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය අප්‍රේල් 10 වැනිදා පස්වරු 4.45ට නිමා වන්නේ මීටර 1500 (පිරිමි) ඉසව්වෙනි.

මෙවර ජාතික ශූරතාවලියට සහභාගි වන විදේශීය ක්‍රීඩකයන් ක්‍රීඩිකාවන් මෙරට ජාතික තරග වාර්තා අබිබවා යමින් දස්කම් දක්වන අවස්ථා සැලකෙන්නේ ශ්‍රී ලංකා භූමිය තුළදී දේශීය හෝ විදේශීය ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් විසින් දැක්වූ හොඳම දක්ෂතා ලෙසයි.

ශ්‍රී ලංකා භූමිය තුළ හොඳම දක්ෂතා දැක්වීම් වාර්තා පොතට අනුව විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් මෙරටදී කාන්තා හා පිරිමි ඉසව් 31කදී හොඳම දක්ෂතා දක්වමින් වාර්තා පොතට (Sri Lanka All Comers Records) ඇතුළත්ව සිටිති.


අදහස් (0)

ජාතික තරගාවලියට රටවල් 5 කින් එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.