නාමල් පතිරගේ
ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය (2025 - 29) ලබන අප්‍රේල් මාසය අවසානයට පෙර හෝ ඊට කලින් පවත්වා අවසන් කිරීමට කටයුතු කළ යුතු බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පසුගිය සදුදා (12) ශ්‍රී ලංකාවට දැනුම්දී තිබේ.
ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපති සුරේෂ් සුබ්‍රමණියම් මහතා ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් එම කමිටුව ඒ බව දැනුම්දී ඇත.
මෙරට ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් නිල කාලය (2021- 25) පසුගිය දෙසැම්බර් 27 වැනිදා නිල වශයෙන් අවසන් විය.එහෙත් එහි විධායක සභාව තවදුරටත් කටයුතු කරමින් සිටින පසුබිමක මීළග නිලවරණය (2025 -29) කැඳවීම සම්බන්ධයෙන් උපදෙස් ඉල්ලා සුබ්‍රමනියම් මහතා විසින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ලිපියක් යොමු කර තිබුණි.
ඒ අනුව එහි ජාතීන්ගේ හා ඔලිම්පික් සහයෝගිතා කමිටුවේ අධ්‍යක්ෂ ජේම්ස් මැක්ලිඕඩ් හා ආසියානු ඔලිම්පික් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් හූසේන් අල් මුසාලම් යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කළ එම ලිපියෙන් ශ්‍රී ලංකාවේ නිලවරණය කැදවීමේදී අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක්ද නිකුත් කර තිබේ.
ජාතික ඔලිම්පික් කමිටුවේ මීළග නිලවරණය කල් දැමීම සදහා ශ්‍රී ලංකාවෙන් කරන ලද ඉල්ලීම් කීපයක් කෙරෙහි එහිදී ඔවුන් අවධානය යොමු කර තිබේ.ඒ අනුව එහි දැනට සිදු කෙරෙන බව ප්‍රකාශවී තිබෙන අභ්‍යන්තර විගණන විමර්ෂණය හෝ වෙනත් කාරණා ඉදිරි නිලවරණය හා මහ සභාව කැදවීමට බාධාවක් කර නොගත යුතු බව එහිදී අවධාරණය කර තිබේ.
ඒ අතර දැනට දූෂණ චෝදනා ලබා විමර්ශණයන්ට ලක්ව සිටින කමිටුවේ නිලධාරීන් එළඹෙන නිලවරණයට සහභාගි කර නොගත යුතු බවටත් එහි දැක්වේ.දැනට කටයුතු කරමින් සිටින කමිටුවේ විධායක සභාවේ සහභාගිත්වයෙන් මීළග නිලවරණය සූදානම් කිරීමේදී ශ්‍රී ලංකාවට යොමු කළ සිය ලිපියේ පිටපතක් සියළුම සාමාජික සංගම් වෙත යොමු කිරීමෙන් විනිවිදභාවය තහවුරු කර ගැනීමට උනන්දු වන ලෙසත් සුරේෂ් සුබ්‍රමනියම් මහතා වෙත සදුදා (12) ජාත්‍යන්තර කමිටුව යොමු කළ ලිපියේ වැඩි දුරටත් දැක්වේ.
මේ අතර ඊයේ (13) මෙම ප්‍රශ්නය සාකච්ඡා කිරිම සදහා ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාගේ කැදවීමෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ සියළු පාර්ශව සහභාගිත්වයෙන් රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි.ඒ සදහා එහි සාමාජික ජාතික ක්‍රීඩා සංගම් රැසක නියෝජිතයන් හා ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් විධායක සභාවේ නියෝජිතයන් පිරිසක් සභභාගි වූහ.
එහිදී ඇමැතිවරයා උපදෙස් ලබා දුන්නේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් සදුදා නිකුත් කළ ලිපියට අනුව මෙතැන් සිට ඒ සම්බන්ධයෙන් ගැටළුවක් පැන නොනගින බැවින් ඒ අනුව නිලවරණය කැදවා මෙම ප්‍රශ්නය නිරාකරණය කර ගත යුතු බවයි.
ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා ඇතුළු ජාතික ක්‍රීඩා සංගම් නියෝජිතයන් පිරිසක් හා ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් රිෆ්ඩි ෆාමී යන මහත්වරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.ක්‍රීඩා ඇමැතිවරයා සමග ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්
එස්.අච්චුදන් මහතා සාකච්ඡාවට සභභාගි විය.
මේ වන විට ජාතික ඔලිම්පික් කමිටුවේ දූෂණ චෝදනා ලැබූ වත්මන් විධායක සභාවෙන් ඉවත්කළ නිලධාරීන් හය දෙනෙකුට එරෙහිව විමර්ෂණ ආරම්භ කර තිබෙන බව වාර්තාවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.