
(නාමල් පතිරගේ)
ජාතික ඔලිම්පික් කමිටුවේ අද (14) පැවැති විශේෂ මහ සභා රැස්වීම ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතාගේ පැමිණීමෙන් උණුසුම් මුහුණුවරක් ගත්තේය. එම කමිටුවේ සාමාජික ජාතික ක්‍රීඩා සංගම් 30 ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පෙරේදා විශේෂ මහ සභ රැස්වීම පැවැත්වුණි.
ජස්වර් උමාර් මහතා ඇතුළු නම් කළ ජාතික ක්‍රීඩා සංගම් නියෝජිතයන් තිදෙනෙකුට මෙම විශේෂ මහ සභා රැස්වීමට සහභාගිවීමට අවසර නොලැබෙන බව ඔලිම්පික් කමිටුව මිට පෙර ප්‍රකාශ කර තිබුණි.
කෙසේවූවත් ජස්වර් උමාර් මහතා අද විශේෂ මහ සභා රැස්වීමට පාපන්දු ආයතනය නියෝජනය කරමින් අසුන් ගත් අවස්ථාවේදී මෙලෙස උණුසුම්කාරී තත්වයක් පැන නැගුණි. එහිදී ජස්වර් මහතා පැවැසුවේ තමා සම්බන්ධයෙන් සභාවේදී පැන නැගෙන කරුණු සාකච්ඡා කිරීමේදී තමන්ට ඒ වෙනුවෙන් පෙනී සෙටීමට අවස්ථාව ලබාදීම යුක්ති සහගත වන බවයි.
ඒ අනුව පාපන්දු ආයතනයේ සෙසු නියෝජිතයන් දෙදෙනා සමග සභාවේ දිගටම රැදී සිටීමට ජස්වර් මහතාට ඒ සම්බන්ධයෙන් විරෝධයක් එල්ල නොවුණි. එක් අවස්ථාවකදී පමණක් ඔහු සභාවෙන් ටික වේලාවකට ඉවත්ව ගොස් නැවැත සභා ශාලාවට ඇතුළු විය.
තමා සභාවට ඇතුළුවීම වැළැක්වීමේ යෝජනාව අනුමත කර ගැනීම සදහා ඡන්දයක් විමසන ලෙසත් ඔහු එහිදී ඉල්ලා සිටියත් එවැනි ඡන්ද විමසුමක් සිදු නොවිණි.
මේ අතර අද මාධ්‍ය හමුවේදී ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පැවැසුවේ ඊයේ පැවැති විශේෂ මහ සභා රැස්වීමේදී ජස්වර් උමාර් මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් තමන් ක්‍රීඩා ඇමැතිවරයාට පැමිණිලි කරන බවයි.
ඊට අනවසර පුද්ගලයන් කැදවා ගෙන ඒමට ජස්වර් උමාර් මහතා දැරූ බව කියන උත්සහය පිළිබදව චෝදනා කරමින් එහිදී අද ඔලිම්පික් කමිටුවේ මාධ්‍ය හමුවේදී විඩියෝ දර්ශන ප්‍රදර්ශනය කෙරුණි. එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර සිටි ජස්වර් මහතා විශේෂ මහ සභාවට ඇතුළු වූයේ තමන් ඇතුළු පාපන්දු ආයතනයේ නියෝජිතයන් තිදෙනා පමණක් බව පැවැසීය.
එය සනාථ කිරීම සදහා පාපන්දු ආයතනය සතුවත් වීඩියෝ දර්ශන පවතින බව ඔහු පැවැසීය.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ජාතික ඔලිම්පික් කමිටුවේ තොරතුරු ඉල්ලා සිටීම එහි සාමාජික ජාතික ක්‍රීඩා සංගමයක නියෝජිතයෙකුට පමණක් නොව රටේ ඕනෑම පුරවැසියෙකුට හිමි අයිතියක් බවත් එය වැරදි නම් තොරතුරු දැන ගැනීමේ පනතෙන් පුරවැසියෙකුට ලැබෙන ප්‍රයෝජනය කුමක්දැයි ඔහු එහිදී ප්‍රශ්න කර සිටියේය.
ඒ අනුව ජාතික ඔලිම්පික් කමිටුවේ මීළගට යෙදෙන නිලවරණයෙන් තමන් වැළැක්වීමට දරන ඕනෑම උත්සහයකට එරෙහිව තමන් අධිකරණය හමුවට යාමට පසුබට නොවන බවත් ඔහු ලංකාදීපයට පැවැසීය. ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධූරයට යෝජනාවී ඇති සභාපති අපේක්ෂකයන් අතර ජස්වර් උමාර් මහතාද ඉදිරියෙන් පසුවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.