Last Update  :  2024-05-07 23:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කෝ - කෝ සම්මේලනය බාර දෙන්න යයි

කෝ - කෝ සම්මේලනය බාර දෙන්න යයි

editorial - 2023 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

තවදුරටත් සිය ගුරු වැටුපෙන් නඩත්තු කටයුතු පවත්වාගෙන යාම අපහසු බැවින් ශ්‍රී ලංකා කෝ - කෝ (kho – kho) සම්මේලනය උපකාර කළ හැකි අයෙකුට හෝ පාර්ශ්වයකට බාරදීමට සූදානම් බව එහි වත්මන් ලේකම් හා සම්මේලනයේ නිර්මාතෘ අතුල විජේනායක මහතා පවසයි. එසේ නොවන්නට සෙසු එකම විකල්පය කෝ  - කෝ සම්මේලනය විසුරුවා හැරීම බවත් ඔහු පවසයි.

1998 දී මෙම ක්‍රීඩා ඉසව්ව ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර ශ්‍රී ලංකා කෝ-කෝ සම්මේලනය පිහිටුවීමට පුරෝගාමී වූ අතුල විජේනායක මහතා පවසන්නේ 2016 ‘ගුවාහටි’ සාෆ් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ සහභාගිත්වය වෙනුවෙන් කණ්ඩායම්වලට ලබාදුන් කෑම වියදම් මුදල හැරෙන්නට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් වෙනත් කිසිදු ආකාරයකින් අනුග්‍රාහකයන් හෝ ආධාර මුදලක් ගෙවුණු වසර  25 කාලයකට නොලැබුණු බවයි.

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි  55 වැනි ක්‍රීඩාව බවට පත්ව තිබෙන කෝ-කෝ ක්‍රීඩා ඉසව්වෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ජයග්‍රහණ ලෙස මේ දක්වා ආසියානු මට්ටමේ ලෝකඩ පදක්කම් තුනක් දිනා තිබේ.. එළඹෙන වසරේ (2024) එංගලන්තයේදී පැවැත්වෙන කෝ-කෝ ලෝක ශූරතා තරගාවලිය සඳහාද ශ්‍රී ලංකාව නිර්දේශ ලබා සිටියි.

ගම්පහ නයිවල ‘සණස’ ගොඩනැගිල්ලේ දැනට පවත්වාගෙන යන ජාතික කෝ-කෝ සම්මේලනයේ කාර්යාලය සහ එහි සේවිකාවන් සඳහා ගෙවීම් කරන්නේද සිය පෞද්ගලික මුදලින් බව පවසන විජේනායක මහතා එහිදී මෙසේද පැවසීය.

‘‘කෝ-කෝ සම්මේලනය ආරම්භ කළ දවසේ ඉඳලා මේ වනතෙක් මම පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ  20කට වඩා වියදම් කරලා තිබෙනවා. මම ජීවත් වෙන්නෙ ගුරු වැටුපෙන්. තවත් එකක් රටේ කෝ-කෝ ක්‍රීඩාවට වියදම් කිරීම ඉතා දුෂ්කරයි. ඒ නිසා රටේ කෝ-කෝ ක්‍රීඩාවට උදව් උපකාර, අනුග්‍රාහක දැක්විය හැකි ඕනෑම අයෙකුට සම්මේලනයේ සභාපති ධුරය පිරිනමන්න  මම කටයුතු කරනවා. 

කනගාටුවට කාරණය මම මෙම වසර ගණනාව පුරා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අනේක වාරයක් කෝ-කෝ ක්‍රීඩාව නංවන්න උදව් ඉල්ලලා තිබෙනවා. නමුත් මේ ක්‍රීඩාවට කියලා එක සත පහක් පත්වුණු කිසිම ක්‍රීඩා ඇමතිවරයෙකු දීලා නෑ.

තවත් අපට දුකක් තියෙන්නෙ කෝටි ප්‍රකෝටි ගණන් තියෙන රටේ ක්‍රිකට් ක්‍රීඩාවට රජය අයවැයෙන් තවත් කෝටි ගණනක් වෙන් කිරීම ගැනයි. මේ කෝ-කෝ ක්‍රීඩාව කරන්නෙත් රටේ පුරවැසියන්. 2016 ගුවහටි සාෆ් ක්‍රීඩා උළෙලට ගිය ශ්‍රී ලංකා කෝ  - කෝ කණ්ඩායම්වලට ක්‍රීඩා අමාත්‍යාංශය කෑමට කියලා වියදමක් දුන්නා. . මේකෙන් මම ඉතිරි කරගෙන ඒ සල්ලිවලින් ඉන්දියාවේ පුහුණු සැසියකට ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගි කළා.

දැන් මේ රටේ පැන නැගිලා තිබෙන ආර්ථික අවපාතයත් එක්ක තවත් මට මගේ සල්ලි මේ ක්‍රීඩාවට යොදවන්න බෑ. මෙහෙම ක්‍රීඩා අමාත්‍යාංශය ආසියානු පදක්කම් දිනපු ක්‍රීඩාවක් මුළුමනින්ම නොසලකා හැරලා තිබෙනවා.’’

ශ්‍රී ලංකා කෝ-කෝ කණ්ඩායම් ඉතා ආසන්නයේදී ඉන්දියාවේදී රටවල් 16කගේ සහභාගිත්වයෙන් පැවති 2023 ආසියානු ‘‘කෝ-කෝ’’ ශූරතා තරගාවලියට සහභාගි වෙමින් කාන්තා හා පිරිමි ලෝකඩ පදක්කම් දෙක හිමිකර ගැනීමට සමත් විය.. ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් 27 දෙනකු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූහ. ඒ සඳහා ගුවන් ප්‍රවේශපත්‍ර ඇතුළුව සමස්ත පිරිවැය වන රුපියල් දෙකෝටි විසි ලක්ෂයකට ආසන්න මුදලක් ඉන්දීය ජාතික කෝ-කෝ සම්මේලනයේ අනුග්‍රාහකයන් දැරූ බව අතුල විජේනායක මහතා පවසයි.

රටේ ආර්ථික කඩා වැටීමද සැලකිල්ලට ගනිමින් ඉන්දියාව එහිදී ශ්‍රී ලංකාවේ මුළු වියදම් දැරීමට ඉදිරිපත්ව තිබේ.. මෙම ආසියානු පදක්කම් දිනා ගැනීම වෙනුවෙන් සබරගමුව පළාත් සභාව සංවිධානය කළ උත්සවයකදී ශ්‍රී ලංකා කණ්ඩායම්හි සියළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන්ට රුපියල් 125,000ක් බැගින් වන මුදල් ප්‍රදානයන් සිදුකර තිබේ.

ශ්‍රී ලංකා කෝ-කෝ සම්මේලනයේ උද්ගතවී තිබෙන තත්වය සම්බන්ධයෙන් අතුල විජේනායක මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමුකර තිබේ. ආක්‍රමණය හා ප්‍රතිආක්‍රමණය මූලික කරගත් ලකුණු ක්‍රමයක් පදනම් වන කෝ-කෝ ක්‍රීඩාවට උපකරණ ලෙස අවශ්‍ය වන්නේ කණ්ඩායම් දෙකේ පෙදෙස් වෙන් කිරීම් කණු දෙකක් පමණි.


අදහස් (0)

කෝ - කෝ සම්මේලනය බාර දෙන්න යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.