Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා සභාවේ මුල්පුටුවට අර්ජුන?

ක්‍රීඩා සභාවේ මුල්පුටුවට අර්ජුන?

editorial - 2022 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයට මේ වනවිට යෝජනා වී සිටින අය අතර අර්ජුන රණතුංග මහතාද පෙරමුණේ සිටින බව වාර්තාවේ. අප්‍රේල් 2 වැනිදා නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩා  ඇමති ධුරයෙන් ඉවත්වීමත් සමග එතෙක් මහේල ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වූ ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරි මණ්ඩලය අහෝසි විය.

එහෙත් ඊට පෙර හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මහතා හා සාමාජික කුමාර් සංඝක්කාර මහතා ක්‍රීඩා සභාවෙන් ඉල්ලා අස්වීමේ ලිපි ඉදිරිපත් කළ බව  වාර්තා විය.

ජාතික ක්‍රීඩා සභාව නැවත බලගැන්වීම සඳහා වත්මන් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා නොබෝදා ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් ක්‍රීඩා අමාත්‍යාංශයට කැඳවමින් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.

ඒ සඳහා හිටපු ඇමතිවරයෙකු ද වන අර්ජුන රණතුංග මහතා කැඳවීම් ලබා තිබුණි. ඒ අතර හිටපු සුපිරි මලල ක්‍රීඩිකාවන් දෙපළක් වන සුසන්තිකා ජයසිංහ, ශ්‍රියානි කුලවංශ, පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීණතම නිලධාරියෙකු වන  සුනිල් ජයවීර යන මහත්ම මහත්මීන්ද වූහ.

නාමල් රාජපක්ෂ  මහතාගේ ඉවත්වීමෙන් පසුව කෙටි කලක් ක්‍රීඩා ඇමැති ධුරයේ කටයුතු කළ තේනුක විදානගමගේ මහතාද ජාතික ක්‍රීඩා සභාව නැවත බලගැන්වීමේ උත්සාහයක යෙදෙමින් එහි හිටපු නිලධාරීන් පිරිසක් කැඳවා සාකච්ඡාවක් පැවැත්වීය.

ඒ අතර මහේල ජයවර්ධන මහතාට යළි ක්‍රීඩා සභාවේ සභාපති ධුරය බාර ගන්නා ලෙස තේනුක විදානගමගේ මහතා කළ ඉල්ලීමට ඔහු ප්‍රතිචාර නොදැක්වීය.

ක්‍රීඩා ඇමැතිවරයාට උපදෙස් දීම හා මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට බලපාන ප්‍රතිපත්ති සකස් කිරීමේ  මූලික අභිලාෂයෙන් පත් කෙරෙන ජාතික ක්‍රීඩා සභාවේ හිටපු නිලධාරි මණ්ඩලය 14 දෙනෙකුගෙන් සමන්විත විය.

මේ අතර වත්මන් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ  මහතා සමග කළ සාකච්ඡාවේදී අර්ජුන රණතුංග මහතා අවධාරණය කර ඇත්තේ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරය බාර ගැනීම කෙරෙහි තමන්ට අවධානය යොමු කළ හැකි බවත් එහෙත් එහිදී ඍජු තීරණ ගැනීමේ හැකියාව මෙන්ම ප්‍රතිපත්ති හා සැළසුම් බලගැන්වීමේදීත් කිසිවෙකුගේත් ඇඟිලි ගැසීම් වලින් තොර වටපිටාවක් සකස් විය යුතු බවත්ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් දැඩිව අදහස් දක්වන්නකු ලෙස ප්‍රචලිත අර්ජුන රණතුංග මහතා ඒ හේතුවෙන්ම පසුගිය කාලයේදී පත්ව සිටි  ක්‍රීඩා ඇමතිවරුන් සමගද මත ගැටුම් ඇතිකර ගත්තේය.

 


අදහස් (0)

ක්‍රීඩා සභාවේ මුල්පුටුවට අර්ජුන?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.