Last Update  :  2026-04-29 17:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කබඩි රිදී පදක්කම ශ්‍රී ලංකාවට

කබඩි රිදී පදක්කම ශ්‍රී ලංකාවට

editorial - 2026 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

කබඩි (කාන්තා) රිදී පදක්කම හිමි කර ගැනීමත් සමග චීනයේ සන්යා නුවරදී දැන් පැවැත්වෙන හය වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ ඊයේ (27) දිනය නිමාවේදී ශ්‍රී ලංකාව රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කම් හතරක් දිනා පදක්කම් සටහනේ 11 වැනි ස්ථානයට පත්ව සිටියේය.

ඊයේ පැවැති කබඩි (කාන්තා) අවසන් මහ තරගයේදී ප්‍රබල ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 47 - 31 කට පරාජය වීමෙන් ඔවුන්ට රිදී පදක්කමෙන් සෑහීමට පත්වීමට සිදු විය.එසේ වූවත් ශ්‍රී ලංකාව මෙම ක්‍රීඩා උළෙලේදී මලල ක්‍රීඩා නොවන වෙනත් ඉසව්වකින් දිනා ගත් පළමු රිදී පදක්කම එයවීම කැපී පෙනේ.

තරගයේ පළමු වටය ලකුණු 20 - 18 ක් ලෙසට ඉන්දියාවට තියුණු සටනක් දීමට ශ්‍රී ලංකාව සමත් වන අතර දෙවැනි වටය ලකුණු 27 - 13 ක් ලෙස වඩාත් පහසුවෙන් පෙරමුණ ගත් ඉන්දියාව තරගාවලියේ රන් පදක්කම දිනා ගත්තේය.මධුරිකා හංසමාලීගේ නායකත්වයෙන් යුත් රිදී පදක්කම්ලාභී ශ්‍රී ලංකා කබඩි (කාන්තා) කණ්ඩායම කුමුදුණී බන්ඩාර, සුදර්ශනී බන්ඩාර, රාසා කාජෙන්තිනී, රාසාතුරෙයි ප්‍රියාවර්ණ හා විමලේන්තිරන් දිලූක්ෂානාගෙන් සමන්විත විය.

එහිදී මූලික වටයේදීත් ශ්‍රී ලංකාව ඉන්දියාවට ලකුණු 44 - 32 කින් පරාජය වුණත් සිරියාව ලකුණු 51 - 19 කට පරාජය කරමින් අවසන් පූර්ව වටයට නිර්දේෂ ලැබීය.එහිදී නේපාලය ලකුණු 46 - 23 කින් පරාජය කරමින් ශ්‍රී ලංකාව අවසන් මහ තරගයට ප්‍රවේශ විය.

කබඩි (පිරිමි) ඉසව්වේ අවසන් පූර්ව වටයේ පරාජිතයන් දෙදෙනාම ලෝකඩ පදක්කම්ලාභීන් වන බැවින් එහිදී ශ්‍රී ලංකාව හා පාකිස්තානය එම පදක්කම් හිමි කර ගත්තේය.

ශ්‍රී ලංකාව ඊයේ දිනය නිමා වන විට දිනා සිටි සෙසු සියලු පදක්කම් මලල ක්‍රීඩාවෙන් හිමි කර ගෙන තිබුණි.එහිදී මීටර 4x60 (පිරිමි) ඉසව්වෙන් හා දුර පැනීම ( පිරිමි) ඉසව්වෙන් ශ්‍රී ලංකාව ඊයේ දිනයේදී ලෝකඩ පදක්කම් දෙකක් හිමි කර ගෙන තිබුණි.මීටර 4x60 ඉසව්ව තත්පර 27.57 කට නිමා කළ ශ්‍රී ලංකා ලෝකඩ පදක්කම්ලාභී කණ්ඩායමට ප්‍රභාෂ් ප්‍රමුදිත සිල්වා, සදුන් දියලවත්ත, මලිත් තරුෂාන් හා මලිත් කෞෂාන් තමෙල් ඇතුළත් වූහ.

මේ අතර දුර පැනීම (පිරිමි) ඉසව්වේ ලෝකඩ පදක්කම ජයත්‍ර සම්පත් මිරන්ඩා හිමි කර ගත්තේ මීටර 7.37 කටය.එහි රන් පදක්කම වියට්නාම ක්‍රීඩක වෑන් පහාම් විඩින් දිනා ගත්තේ මීටර 7.44 කටය.ශ්‍රී ලංකාව මෙවර ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන්  22 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි කළේය.එය ඊට ශ්‍රී ලංකාව ක්‍රීඩා ඉසව්වකින් සහභාගි කළ විශාලතම කණ්ඩායමයි.

ඊයේ දිනය නිමාවන විට සත්කාරක චීනය රන් පදක්කම් 14 ක් දිනා පදක්කම් සටහනේ පෙරමුණේ පසු විය.ඉන්දියාව එක් රන් පදක්කමක් හා රිදී පදක්කමක් සමග ඒ වන විට පදක්කම් සටහනේ නව වැනි ස්ථානයේ රැඳී සිටියේය.ඒ වන විට දකුණු ආසියානු කලාපයේ පදක්කමක් දිනා සිටි සෙසු එකම රට වූයේ ලෝකඩ පදක්කමක් ලබා සිටි පාකිස්තානයයි.

රුපියල් කෝටි හතක පමණ වියදමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් 109 කගේ සමස්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාව මෙම ක්‍රීඩා උළෙලට සහභාගි කර තිබේ.


අදහස් (0)

කබඩි රිදී පදක්කම ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.