Last Update  :  2025-12-29 13:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඕස්ටේ‍්‍රලියා - ශී‍්‍ර ලංකා 19 න් පහළ එක්දින තරග හෙට සිට

ඕස්ටේ‍්‍රලියා - ශී‍්‍ර ලංකා 19 න් පහළ එක්දින තරග හෙට සිට

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී මේ මස 14 වැනිදා ආරම්භ වන වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (01) කොළඹ කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරගාවලිය පිළිබදව දැනුම්වත් කිරීම වෙනුවෙන් අද (31) පස්වරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා යොවුන් පිලේ නායක කුසල් මෙන්ඩිස් ලෝක කුසලාන තරගාවලියට පෙර සහභාගි වන මෙම තරග තුන පිළිබදව මෙසේ පැවසීය.

”මෙම තරගාවලියේ එක්දින තරග තුනට ක‍්‍රීඩා කිරීමෙන් ලෝක කුසලාන තරගාවලියට යෑමට පෙර ලොකු අත්දැකීමක් ලැබීමට අවස්ථාව ලැබී තිබෙනවා. ප‍්‍රතිවාදි  ඕස්ටේ‍්‍රලියානු පිල ඉතාමත් හොද කණ්ඩායමක්, මගේ කණ්ඩායම දිහා බැලූවම හොද තරගයක් ලබා දෙන්න හැකියාව ඇති බව මට විශ්වාසයි”

”මෙවර ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සෑම අශයකින්ම දක්‍ෂ කණ්ඩායමක්. වේග පන්දු යවන්නන් පස් දෙනෙක් සහ දඟ පන්දු යවන්නන් පස් දෙනෙක් ඒ වගේම තුන් ඉරියව් ක‍්‍රීඩකයෝ, මම හිතනවා ඒ නිසා මට කණ්ඩායම මෙහෙයවීම පහසු වී තිබෙනවා කියලා’’

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය සදහා මේ වන විට ඇති සූදානම පිළිබදව කුසල් මෙසේ අදහස් දැක්වීය.
 
‘‘අපි වසරක පමණ කාලයක් කණ්ඩායමක් හැටියට පුහුණුවීම් කළා. මාස දෙකක් පමණ අඛණ්ඩව පුහුණුවීම් කළා, අපි සංවර්ධන සංචිතය සහ ක‍්‍රීඩා සමාජ සමග පුහුණු තරගවලට සහභාගි වුණා ඒවායින් ගොඩක් අත්දැකීම් ලැබුණා. ඒ නිසා මම හිතනවා ලෝක කුසලාන තරගාවලියට අපි හොද සූදානමකින් සහ අත්ම විශ්වාසයකින් ඉන්නවා කියලා’’

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ ප‍්‍රධාන පුහුණුකරු නවීඞ් නවාස් මහතා සිය කණ්ඩායම පිළිබදව මෙසේ අදහස් දැක්වීය.

‘‘අපේ කණ්ඩායම ගොඩක් හොද කණ්ඩායමක්, ඒ වගේම සමබර එකක්. වේග පන්දු යවන පිතිකරුවන්, ඒ වගේම දඟ පන්දු යවන තුන් ඉරියව් ක‍්‍රීඩකයෝ ඉන්නවා. මේ කණ්ඩායමේ අවසන් වසරක කාලය බැලූවොත් කණ්ඩායම ඉතාමත් හො`ද තත්ත්වයක ඉන්නවා. ලෝක කුසලාන තරගාවලියේදී හො`දින් ක‍්‍රීඩා කිරීම පමණයි ඉතිරිව තිබෙන්නේ’’

”ඩුබායි සහ සාජා ක‍්‍රීඩාංගණවල තණතීරු ගත්තොත් බොහෝ විට පිතිකරුවන්ට උචිත ඒවා. ඒ නිසා පිතිකරුවන් වඩාත් වැදගත් වෙනවා. එහිදී තරගයක් ජය ගන්න නම් හොද ලකුණු සංඛ්‍යාවක් පුවරුවට දාගන්න  ඕනේ, ඒ නිසා අපි අවසන් මාස දෙකේ වැඩි අවධානයක් යොමු කළේ පිතිකරුවන්ගේ පැත්තටයි. පිතිකරුවන්ට සෑම තත්ත්වයකට මුහුණ දීමට පුහුණුව ලබාදී තිබෙනවා. හොද ලකුණු සංඛ්‍යාවක් රැස්කළ හොත් පන්දු යවන්නන් අනිවාර්යෙන්ම එය ආරක්‍ෂා කර ගන්නවා”

”ලෝක කුසලාන තරගාවලියේදී පිතිකරණය ඉතාමත් වැදගත්, මට එක ක‍්‍රීඩකයකු ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා කියන්න අමාරුයි. නමුත් මේ කණ්ඩායම හොදට කරන්න නම් කණ්ඩායමේ සියලූම දෙනා හොදට ක‍්‍රීඩා කරන්න  ඕනේ, කණ්ඩායමක් හැටියට සියලූ දෙනාම හො`දින් ක‍්‍රීඩා කළහොත් ජයග‍්‍රහණය කරන්න පුළුවන්” යැයි නවීඞ් නවාස් මහතා වැඩි දුරටත් පැවසීය.
 
මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ  ඕස්ටේ‍්‍රලියානු වයස 19 න් පහළ පිලේ නායක ඇලෙක්ස් ග්‍රෙගරි පැවසුවේ ලෝක කුසලාන තරගාවලියට යන අතරමගදී ශ්‍රී ලංකාව වැනි ප‍්‍රබල කණ්ඩායමක් සමග තරග තුනකට සහභාගි වීමට ලැබීම හොද අත්දැකීමක් බවට පත්වනු ඇති බවයි.  

මෙම තරගාවලියේ දෙවැනි තරගය මේ මස 3 වැනිදා කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී ද, තෙවැනි තරගය මේ මස 6 වැනිදා ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාගංණයේදී ද, පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය සදහා මේ මස 8 වැනිදා ඩුබායි බලා පිටත්ව යෑමට නියමිතය.


ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම:

කුසල් මෙන්ඩිස් (නායක), සදීර සමරවික‍්‍රම (උප නායක), මිනෝද් භානුක, හෂාන් දුමිදු, කවිදු කුලසේකර, බිනුර ප‍්‍රනාන්දු, ඒ. කේ. ටිරෝන්, ලක්‍ෂාන් ජයසිංහ, රමේෂ් මෙන්ඩිස්, හර්ෂ රාජපක්‍ෂ, හෂාන් විමර්ෂණ, හෂේන් රාමනායක, ප‍්‍රියමාල් පෙරේරා, තිලක්‍ෂ මල්ෂාන් සහ අනුක් ප‍්‍රනාන්දු

ඕස්ටේ‍්‍රලියානු වයස 19 න් පහළ කණ්ඩායම:
ඇලෙක්ස් ග්‍රෙගරි (නායක), තෝමස් ඇන්ඩෘ, බෙන් අෂ්කිනාෂි, ජේම්ස් බෂ්ලි, ජැක් ඩොරන්, මැතිව් ෆෝටි, බෙන් මැක්ඩෙමොට්, ජරොන් මොර්ගන්, ඩමින් මොර්ටිමර්, මැතිව් ෂොර්ට්, කෙල්වින් ස්මිත්, බේලි ස්ටන්ලකි, කැමරන් වැලෙන්ටෙ, ගයි වෙල්කර් සහ සියන් විලිස්


(ඡයාරූපය: ගයාන් අමරසේකර)    

 


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියා - ශී‍්‍ර ලංකා 19 න් පහළ එක්දින තරග හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.