Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එංගලන්තයේ රැඳී සිටියොත් විනය පියවර

එංගලන්තයේ රැඳී සිටියොත් විනය පියවර

editorial - 2022 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

එංගලන්තයේ රැඳී සිටීම සඳහා මාස හයක වීසා වලංගුව තිබුණද ‘බර්මින්හැම්’ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකා බලධාරීන්ගේ අවසරයකින් තොරව ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක් දිනක් හෝ තවදුරටත් එංගලන්තයේ රැඳී සිටීම විනය පියවර ගත හැකි වරදක් වන බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසයි.

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පසුගිය සඳුදා (8) නිමාව දුටු 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායමෙහි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් 10 දෙනකුට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති බවට පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳ ‘ලංකාදීප’ය කළ විමසුමකදී ඔහු එසේ පැවසීය.  අතුරුදන් වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් සම්බන්ධයෙන් වහා ක්‍රියාමාර්ග ගැනීම බලධාරීන්ට දුෂ්කර වී ඇත්තේ ඔවුන්ට ලබන ජනවාරි මාසය දක්වා එංගලන්තයේ රැඳී සිටීම සඳහා මාස හයක වලංගු වීසා දී තිබෙන බැවිනි.

ශ්‍රී ලංකාව හැරෙන්නට ක්‍රීඩා උළෙලට සහභාගි වූ වෙනත් ආසියානු හා අප්‍රිකානු රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ද මෙසේ බර්මින්හැම් නුවරදී අතුරුදන් වී තිබේ.  

බර්මින්හැම් නුවරදී නිමාවට පත්වූ 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩා ඉසව් 14ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් 161 දෙනකුගේ කණ්ඩායමක් සහභාගි විය. ඔවුන්ගෙන් ක්‍රීඩකයන් තිදෙනකු හා ක්‍රීඩිකාවක් පමණක් පදක්කම් දිනා ගත්හ. ඒ රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් තුනක් පරිදිය.  එකම රිදී පදක්කම දිනාගත්තේ පැරා ක්‍රීඩා ඉසව් නියෝජනය කළ කවපෙත්ත විසි කිරීමේ ශූර පාලිත බණ්ඩාර විසිනි.

බර්මින්හැම් නුවර දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරුදන් වීම ගැන විමසීමේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙසේද පැවැසීය.

“අතුරුදන්ව සිටින බව කියන මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන්ගේ වාර්තාවක් එංගලන්තයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා හරහා එරට ආගමන හා විගමන නිලධාරීන් අතට පත් කරන්න අප බලාපොරොත්තු වෙනවා. බර්මින්හැම් නුවරට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩීකාවන් හා නිලධාරීන් ආවේ ක්‍රීඩා උළෙලට සහභාගි වන්නයි. එය අවසන් වුණාට පස්සෙ ඔවුන්ට එංගලන්තයේ රැඳී සිටින්න තවදුරටත් හේතුවක් නෑ. ඔවුන් යොදාගත් පරිදි නැවත ශ්‍රී ලංකාවට පිටත්ව යා යුතුයි.“

“ඔය අතුරුදන් වෙලා ඉන්න බව කියන ක්‍රීඩකයන් ක්‍රීඩා උළෙල අවසන් වෙලා තවත් දින ගණනාවක් හෝ සති කීපයක් හෝ එංගලන්තයේ රැඳී සිටින බවට කලින් බලධාරීන් දැනුවත් කිරීමක් කරලා නෑ. ඒ නිසා ක්‍රීඩා උළෙල නිමාවෙන් පස්සේ ලංකාවට ආපු නැති ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නවා.... ඒ විතරක් නෙමේ එසේ මෙරට බලධාරීන්ගෙන් අවසරයක් නැතිව එරට තවදුරටත් රැඳී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එරට ආගමන හා විගමන බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටින්න තීරණය කළා.”

බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වී සිටින සියලුම ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් දිවයිනෙන් පිටත්ව ගොස් ඇත්තේ එම සෑම අයකුම රුපියල් මිලියනයක් බැගින් වන ඇපකරයකට අත්සන් තැබීමෙන් හා පුද්ගල ඇප දෙකක් ඉදිරිපත් කිරීමෙනි.

යුරෝපා රටවල හා ඇමෙරිකාවේ සංචාරය කිරීමේදී ක්‍රීඩා අමාත්‍යාංශය එය මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පරිවාර නිලධාරීන්ට පනවා තිබෙන රෙගුලාසියකි.

කෙසේවුවත් බර්මින්හැම් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අතුරුදන්වීම් පිළිබඳව කළින්ම අනතුරු ඇඟවීම් ලැබී තිබුණි. ඒ හේතුවෙන් සංචාරක සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමත් සමග විශේෂ ආරක්ෂක නිලධාරියෙකුද බර්මින්හැම් නුවර බලා පිටත්ව ගියේය.


අදහස් (0)

එංගලන්තයේ රැඳී සිටියොත් විනය පියවර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.