Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news උතුර – දකුණ හෙට සටනට

උතුර – දකුණ හෙට සටනට

editorial - 2022 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශූරයන් හා අනුශූරයන් වන  කණ්ඩායම්වල ක්‍රීඩකයන්ට රුපියල් මිලියන තුනක මුදල් ත්‍යාග බෙදාදෙන අන්තර් පළාත් පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය උතුරු පිල හා දකුණු පිල අතර හෙට  (5) පස්වරු 3.30ට යාපනය ‘දොරේඅප්පා’ පිටියේ දී පැවැත්වේ.

උතුරේ හා දකුණේ ක්‍රීඩකයන් දෙපිරිසක් මුණගැසෙන තරගයක් බැවින් අද මෙම තරගයට  ඉහළම ප්‍රේක්ෂක අවධානයක් යොමුව තිබේ.

හෙට තරගය ජයගන්නා කණ්ඩායමේ එක් ක්‍රීඩකයකුට  රුපියල් 50,000ක් බැගින්ද හා අනුශූරතාව ලබන කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකුට රුපියල් 25000ක් බැගින්  ප්‍රදානය කිරීම හැරෙන්නට කණ්ඩායම් දෙකේම අට දෙනෙකු බැගින් වන පුහුණු කාර්ය මණ්ඩල සඳහා එහිදී මුදල් ත්‍යාග තිළිණ කෙරේ.

එහි විශේෂත්වය එම ත්‍යාග මුදල් ක්‍රීඩකයන්ට හා නිලධාරීන්ට වෙන වෙනම ප්‍රදානය කිරීමට කටයුතු කිරීමයි. මෙතැන් පටන් මෙම නවක පාපන්දු තරගාවලිය වාර්ෂිකව සංවිධානය කෙරේ. ශ්‍රීලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පවසන්නේ  මෙතැන් සිට වාර්ෂිකව තරගාවලිය පැවැත්වීමේදී සෑම  වසරකම නිදහස් සැමරුම් දිනය දා එනම් පෙබරවාරි  4 වැනිදා  අවසන් මහ තරගය පැවැත්වීමට පාපන්දු ආයතනය උනන්දුවී සිටින බවයි.

මෙම තරගාවලියේ විශේෂත්වයක් වූයේ අවසන් මහ තරගය සඳහා දෙපිලක් නිර්දේශ කර ගැනීමේ දී අවසන් පූර්ව තරග හතරක් පැවැත්වීමයි. එහිදී එක් කණ්ඩායමකට අවසන් පූර්ව තරග දෙකකට සහභාගිවීමට සිදුවිය.

එහිදී දකුණ පිලට සබරගමුව පිල දෙවරක් අවසන් පූර්ව වටයේ මුණ ගැසීමේ දී දෙපිලම සම තත්ත්වයකට පත්වීමෙන් දෙවැනි තරගයේදී දඬුවම් පහර මගින් (4-1) දකුණු ක්‍රීඩකයෝ අවසන් මහ තරගයට ප්‍රවේශවීමට වාසනාවන්ත වූහ.

මෙම තරගාවලියේ මෙතෙක් වඩාත්ම ප්‍රබල කණ්ඩායම බවට පත්ව සිටින උතුර කණ්ඩායම අද අවසන් මහ තරගයට සහභාගිවන්නේ අවසන් පූර්ව තරග දෙකේ දී නැගෙනහිර පිලට එරෙහිව එක් තරගයක් ජය ගනිමින් (1-0) හා සෙසු තරගය ජය පරාජයෙන් තොරව (0-0) අවසන් කරමිනි.

හෙට දොරේඅප්පා පිටියට උතුර ක්‍රීඩකයෝ පිවිසෙන්නේ වඩාත්ම ආත්ම විශ්වාසයකින්  යුතුවය. ඊට හේතුව ඔවුන් මේ තාක් තරගාවලියේ අපරාජිතයන් බවට පත්ව සිටින එකම කණ්ඩායම වීමයි. එහි නායක මරියදාසන් නිතර්ෂන් තරගාවලියේ වැඩිම ගෝලලාභියාට හිමිවන රන් සපත්තුව (ගෝල්ඩන් බූට්ස්) සම්මානය දිනාගැනීමට වඩාත්ම කිට්ටුවී සිටින ක්‍රීඩකයායි.

ඔහු හා ගෝල  හයක් බැගින් ලබාගත් සබරගමුව පිලේ මොහොමඩ් මුෂ්පික්ට වඩා ඔහුට සම්මානය හිමිකර ගැනීමේ වැඩි අවස්ථාවක් පවතින්නේ අද තරගයේදිත් ඔහුට ගෝල වාර්තා කිරීමේ අවස්ථාව සැලසී තිබෙන බැවිනි.

මේ  අතර ‘ගෝල්ඩන් ග්ලවුස්’ හෙවත් ‘රන් අත් ආවරණ’ සම්මානය දිනාගැනීම සඳහාත් දැල් රකින්නන් දෙදෙනකු අතර තියුණු සටනක් ඇතිවී තිබේ. ඒ නැගෙනහිර පිලේ එම්. මුර්ෂික් හා  සබරගමුව පිලේ නුවන් ගිම්හාන අතරය. එහි නිර්දේශය ලබාදෙන්නේ අද අවසන් මහ තරගයෙන් පසුවය.

දකුණු පිල අනපේක්ෂිත ලෙස අවසන් මහ තරගයට අවසන් මොහොතේ ගෙනඒමේ ගෞරවය එහි නායක රසික් රිෂාඩ්ටත් පුහුණුකරු ෂිරන්ත කුමාර මහතාටත් හිමිවේ. මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි  ස්ථානයේ පසුවූ ‘දකුණ’ එහිදී තරග දෙකක් පරාජයවී තිබේ.

 එහෙත් අවසන් පූර්ව  වටයට නිර්දේශ ලබාගත් සෙසු කණ්ඩායම් දෙකම ඒ සඳහා ප්‍රවේශ වූයේ අපරාජිතව වීම කැපී පෙනේ. තමන් මුහුණ දුන් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය තෙක් අපරාජිතව පසුවූ සබරගමුව පිල තීරණාත්මක දෙවැනි අවසන් පූර්ව තරගයේ දී පරාජයට පත්කරමින් ඔවුහු අද අවසන් මහ තරගයට අනපේක්ෂිත ප්‍රවේශයක් ලැබූහ. උතුරු පිලේ නිත්‍ය පුහුණුකරු වන්නේ රත්නම් ජැස්මින් මහතාය.

උතුරු පිල

දකුණු පිල

 


අදහස් (0)

උතුර – දකුණ හෙට සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.