
(නාමල් පතිරගේ )
රට තුළ උද්ගතව පවතින ඉන්ධන අර්බුදය සැළකිල්ලට ගනිමින් පාසල් වල පැවැත්වෙන උත්සව හා වැඩ සටහන් වලට සීමා පනවමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා විසින් විශේෂ චක්‍ර ලේඛනයක් නිකුත් කර තිබේ.
එම චක්‍ර ලේඛනයට අනුව පාසල් වල දැනට පවත්වා ගෙන යන ක්‍රීඩා (නිවාසාන්තර) උත්සව, තරග හා වැඩ සටහන් රැසක් අත්හිටුවීමට සිදුව ඇතැයි වාර්තාවේ.
උද්ගතව පවතින ලෝක ඉන්ධන අර්බුදය හමුවේ පාසල්වල දෛනික පරිපාලන කටයුතු හා ඉගෙනුම් ක්‍රියාවලිය පවත්වා ගෙන යාම මැයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එකී චක්‍ර ලේඛනය නිකුත් කර තිබේ. එහි වැඩිදුරටත් දැක් වෙන්නේ පාසල් මගින් සංවිධානය කෙරෙන උත්සව හෝ වැඩ සටහන් ඉන්ධන පරිභෝජනය අවම වන පරිදි පැවැත්වීමටත් අධික ලෙස ඉන්ධන භාවිතා වන රථ පෙළපාලි ආදිය තාවකාළිකව අත් හිටුවීමටත් විදුහල්පතිවරුන් ව්සින් වග බලා ගත යුතු බවයි.
ඒ අතර පාසල් වල විෂය නිර්දේෂ ආවරණය කිරීමට පවතින කාලය සීමා සහිත වීම නිසා පාසල් මගින් සංවිධානය කරන හෝ වෙනත් බාහිර ආයතන විසින් පාසල් තුළ ක්‍රියාත්මක කෙරෙන වැඩ සටහන් හෝ උත්සව සදහා පාසල් කාලය යොදා නොගත යුතු බවත් එහි වැඩිදුරටත් දැක්වේ.
ඒ සම්බන්ධයෙන් ලංකාදීප ය කළ විමසුමකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා අංශයේ ප්‍රකාශකයෙකු පැවැසුවේ නිකුත් කර තිබෙන එම චක්‍ර ලේඛනයට අනුව පාසල් මගින් සංවිධානය කෙරෙන ක්‍රීඩා උත්සව වලටත් සීමා පැනවී තිබෙන බවයි.
ඒ අනුව රටේ තත්වය යහපත් අතට හැරෙන තුරු පාසල් ක්‍රීඩා උත්සව රැසක් තාවකාළිකව අත් හිටුවීමට සිදු වන බවත් ඔහු පැවැසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.