(ශානුක අරවින්ද)
ඩයලොග් ආසියාටා සමාගමේ ප්‍රධාන අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන 2026 අන්තර් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ තරග, පාසල් 18 ක සහභාගීත්වයෙන් මෙම මස 20 වැනිදා සිට කාණ්ඩ 3 ක් යටතේ පැවැත්වෙනු ඇත.
තරගාවලියේ මූලික වටයේදී එම කණ්ඩායම් 18 එක් කාණ්ඩයකට කණ්ඩායම් 6 බැගින් වූ ‘ඒ’, ‘බී’ සහ ‘සී’ යන කාණ්ඩ යටතේ තරග බිමට අවතීරණ වනු ඇත. මූලික වටයේ තරග සති 5 ක් පුරා පැවැත්වෙන අතර සෑම සතියකදීම තරග 9 බැගින් පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු යොදා තිබේ.
මූලික වටයේදී ලීග් ක්‍රමයට අනුව තරග පැවැත්වෙන අතර එහිදී සෑම කණ්ඩායමක්ම තමන් නියෝජනය කරන කාණ්ඩයට ඇතුළත් සෙසු කණ්ඩායම් 5 ට එරෙහිව තරග වදිනු ඇත. මූලික වටය අවසානයේ කාණ්ඩ 3 හි පළමු සහ දෙවැනි ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම් තරගාවලියේ කුසලාන ශූරතාව සඳහා වන සුපිරි 6 දෙනාගේ වටයට පිවිසෙනු ඇත.
‘ඒ’, ‘බී’ සහ ‘සී’ යන කාණ්ඩ 3 හි තෙවැනි සහ සිවුවැනි ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම් වලට තරගාවලියේ පළඟ ශූරතාව සඳහා වන සුපිරි 6 දෙනාගේ වටය යටතේද, පස්වැනි සහ හයවැනි ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම් වලට තරගාවලියේ බඳුන ශූරතාව සඳහා වන සුපිරි 6 දෙනාගේ වටය යටතේද තරග වැදීමට සිදුවනු ඇත.
සුපිරි 6 දෙනාගේ වටයේදීද ලීග් ක්‍රමයට අනුව තරග පැවැත්වෙන අතර එහිදී සියලුම කණ්ඩායම් වලට තමන් නියෝජනය කළ කාණ්ඩයෙන් සුපිරි 6 දෙනාගේ වටයට පිවිසි කණ්ඩායම හැරුණුකොට සෙසු කණ්ඩායම් 4 ට එරෙහිව තරග වැදීමට සිදුවනු ඇත. සුපිරි 6 දෙනාගේ වටය අවසානයේ තරගාවලියේ කුසලාන, පළඟ සහ බඳුන ශූරයන් කවුදැයි යන්න තීරණය කෙරෙනු ඇත.
‘ඒ’ කාණ්ඩය
මහනුවර ත්‍රිත්ව විදුහල, කොළඹ ඉසිපතන විදුහල, කොළඹ ඩී.එස්. සේනානායක විදුහල, මහනුවර ශ්‍රී සුමංගල විදුහල, කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ කොළඹ ලුම්බිණි විදුහල
‘බී’ කාණ්ඩය
කොළඹ වෙස්ලි විදුහල, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, මරදාන ශාන්ත ජෝෂප් විදුහල, කොළඹ ආනන්ද විදුහල, කොළඹ මහානාම විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල
‘සී’ කාණ්ඩය
කොළඹ රාජකීය විදුහල, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල, මහනුවර කිංග්ස්වුඩ් විදුහල, මරදාන සහිරා විදුහල, කොළඹ තර්ස්ටන් විදුහල සහ ගල්කිස්ස විද්‍යා විදුහල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.