Last Update  :  2025-12-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 19 න් පහළ පිල අවසන් පූර්ව වටයට

19 න් පහළ පිල අවසන් පූර්ව වටයට

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ බංගලාදේශය අතර අද (31 වැනිදා) අබුඩාබිහිදී පැවැති තරගයෙන් කඩුලූ 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත්විය.  

මෙම ජයග‍්‍රහණයත් සමගම ප‍්‍රසාද ලකුණු 4 ක් ලබාගෙන ‘බී’ කාණ්ඩයේ ප‍්‍රථම ස්ථානයට පත්වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම, තරගාවලියේ අවසන් පූර්ව වටයේදී ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්ව සිටින ඉන්දියා කණ්ඩායමට එරෙහිව ජනවාරි මස 2 වැනිදා තරගවැදීමට නියමිතය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 204 ක ඉලක්කයක් හඹාගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලූ 8 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගිය අතර එහිදී නායකත්වයේ ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් ශතකයක් රැස්කරමින් ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය.  

පෙර තරග දෙකේදීම අසාර්ථකවූ ශී‍්‍ර ලංකා නායක කුසල් මෙන්ඩිස් මෙම තරගයේදී තම වගකීම මැනවින් තේරුම්ගෙන කී‍්‍රඩා කළ අතර පන්දු 112 කදී වාර්තාවූ ඔහුගේ ඉනිමට හතරේ පහර 8 ක් ඇතුළත්විය. 

පළමු තරග දෙකේදී පිළිවෙළින් ලකුණු 47 ක් සහ ලකුණු 68 ක් බැගින් රැස්කරමින් දස්කම් දැක්වූ පි‍්‍රයමාල් පෙරේරා සමග එක්ව සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 119 කදී ලකුණු 108 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද කුසල් සමත්විය.

කුසල්ගේ දැවීයාමෙන් පසුව ලකුණු 13 ක් ඇතුළත ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කඩුලූ 5 ක් බිඳවැටුණද, එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් පි‍්‍රයමාල් පෙරේරා නොදැවී 62 ක් රැස්කරමින් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ජයග‍්‍රහණය තහවුරු කළේය. පන්දු 87 කින් වාර්තාවූ එම ඉනිමට හතරේ පහර 9 ක් අන්තර්ගත කළ පි‍්‍රයමාල් තරගය නිමා වන තෙක්ම කඩුල්ලේ රැදීසිටියේය.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පිතිකරුවන් 7 දෙනකුටම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට බංගලාදේශ පන්දුයවන්නෝ ඉඩ නොදුන් අතර ඉන් සිව්දෙනකුම ලකුණු නොළඹා දැවී ගියහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම කඩුලූ 6 ක් දැවී ලකුණු 203 ක් රැස්කළ අතර එහිදී නස්මුල් හුසේන් හතරේ පහර 6 ක් සමග ලකුණු 62 ක් රැස්කළේය.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ ඉතිරි තරගය එදිනම ‘ඒ’ කාණ්ඩයේ ප‍්‍රථම ස්ථානයට පත්ව සිටින පාකිස්තාන කණ්ඩයම සහ ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්ව සිටින ඇෆ්ගනිස්තානය අතර පැවැත්වීමට නියමිතය.

බංගලාදේශ වයස 19 න් පහළ කණ්ඩායම ඕවර 50 කදී කඩුලූ 6 කට 203
(ශඞ්මන් ඉස්ලාම් 27, සකීර් හසන් 18, මොසද්දික් හුසේන් 32, නස්මුල් හුසේන් 62, යසර් අලි 33, රමේෂ් මෙන්ඩිස් 22/2, ඒ. කේ. ටිරෝන් 49/2)

ශී‍්‍ර ලංකා වයස 19 න් පහළ කණ්ඩායම ඕවර 48.1 කදී කඩුලූ 8 කට 206
(කුසල් මෙන්ඩිස් 100, මිනෝද් භානුක 26, පි‍්‍රයමාල් පෙරේරා නොදැවී 62, නිහඩුස්සමාන් 27/2, මෙහෙදි හසන් 38/2)

-036


අදහස් (0)

19 න් පහළ පිල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.