Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රෙඩ් බුල් ශූරතාව බී.එම්.එස්. කණ්ඩායමට

රෙඩ් බුල් ශූරතාව බී.එම්.එස්. කණ්ඩායමට

ශනුක අරවින්ද - 2017 ජුලි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රෙඞ් බුල් අන්තර් විශ්ව විද්‍යාල විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව පිට පිටම දෙවැනි වරටත් දිනාගැනීමට බම්බලපිටිය ‘බී. එම්. එස්.’ විශ්ව විද්‍යාලය සමත් විය. කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (22) පැවැති අවසන් මහ තරගයේදී නුගේගොඩ ‘සීගිස්’ විශ්ව විද්‍යාලට එරෙහිව කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කරමින් ‘බී. එම්. එස්.’ විශ්ව විද්‍යාලය මෙවර ශූරතාවට හිමිකම් කිවේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ‘සීගිස්’ විශ්ව විද්‍යාල කණ්ඩායමට ඕවර 17 ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 100 ක් පමණි. ජයග්‍රහණය සඳහා ලකුණු 101 ක ඉලක්කයක් හඹාගිය ‘බී. එම්. එස්.’ විශ්ව විද්‍යාල කණ්ඩායම, එම ඉලක්කය පසුකර යෑම සඳහා වැය කළේ ඕවර 10.4 ක් පමණි. පන්දු 56 ක් ඉතිරිව තිබියදී කඩුල්ලක් පමණක් දැවී ඔවුහු ජයග්‍රාහී සීමාව පසුකර ගියහ.

‘බී. එම්. එස්.’ විශ්ව විද්‍යාල කණ්ඩායමේ ආරම්භක පිතිකරු ගීෂාන් විමලධර්ම, පන්දු 25 කදී ලකුණු 46 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණයට මනා අඩිතාලමක් දැමුවේය. මුලු ලකුණු සංඛ්‍යාව 66 ක් වන විට ‘බී. එම්. එස්.’ විශ්ව විද්‍යාල කණ්ඩායමේ පලමු කඩුල්ල ලෙස දැවීයන විට සිය ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් අන්තර්ගත කිරීමටද ගීෂාන් සමත් විය.

ගීෂාන් සමග ‘බී. එම්. එස්.’ ඉනිම ආරම්භ කළ හෂාන් දුමිඳු, පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 29 ක් රැස්කළේය. හෂාන් සමග එක්ව ‘බී. එම්. එස්.’ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය සධීර සමරවික්‍රම පන්දු 14 කදී නොදැවී ලකුණු 17 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහරක්ද සමගිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ‘සීගිස්’ විශ්ව විද්‍යාල කණ්ඩායම තරගය ආරම්භයේ සිටම ‘බී. එම්. එස්.’ කණ්ඩායමේ පන්දු යවන්නන් හමුවේ අසාර්ථක පිතිහරඹයක් පෙන්නුම් කළ අතර ආරම්භක පිතිකරු නිපුන් ගමගේ (19), අනුෂ්ක පෙරේරා (20) සහ පසුපෙළ පිතිකරු චතුරංග කුමාර (17) හැරුණුකොට සෙසු පිතිකරුවෝ සියලු දෙනාම පාහේ ඉතා අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී ගියහ.

‘සීගිස්’ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ අනුෂ්ක පෙරේරා පන්දු 13 කදී ලකුණු 20 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි. පන්දු 19 කදී වාර්තා වූ නිපුන් ගමගේගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් වූ අතර පන්දු 20 කදී වාර්තා වූ චතුරංග කුමාරගේ ඉනිමට හයේ පහරක් ඇතුළත් විය.

එක් ඕවරයක් පමණක් යැවූ ‘බී. එම්. එස්.’ කණ්ඩායමේ ජනිත් ලියනගේ එහිදී කඩුලු ත්‍රිත්වයක් ලබාගනිමින් ‘සීගිස්’ කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා පුරෝගාමී විය. මෑතකදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් හිමිකරගත් වනිඳු හසරංග සහ ගීෂාන් විමලධර්ම කඩුලු 2 බැගින් දවාගත්හ.

“අපිට ශූරතාව දිනාගන්න ගීෂාන් (විමලධර්ම), අමිල (අපොන්සු), වනිඳු (හසරංග), සධීර (සමරවික්‍රම) සහ නිරෝෂන් (දික්වැල්ල) වැනි ක්‍රීඩකයන් හුගක් ප්‍රයෝජනවත් වුණා. ඒ ක්‍රීඩකයන් වටා එක් වෙමින් අනිත් ක්‍රීඩකයනුත් හුගක් මහන්සි වුණා මේ වසරේදීත් ශූරතාව දිනාගන්න.  අපේ එකම අරමුණ වුණේ ශූරතාව රැකගන්න එක. අපි ඒක කළා. කණ්ඩායමක් වශයෙන් අපිට ඒ ගැන හුගක් ආඩම්බරයි. අපේ කණ්ඩායම නිරෝෂන්ට (දික්වැල්ල) හුගක් ණයගැතියි. එයා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන අතරතුර දිගින් දිගටම අපේ කණ්ඩායමත් සමග රැදෙමින් අපිව හුගක් දිරිමත් කළා.” යැයි ‘බී. එම්. එස්.’ කණ්ඩායමේ කණ්ඩායමේ නායක දිනුක් වික්‍රමනායක ජයග්‍රහණයෙන් අනතුරුව පැවසීය.

අවසන් පූර්ව වටයේදී තර්ස්ටන් විදුහල කඩුලු 6 කින් පරාජය කරමින් ‘බී. එම්. එස්.’ විශ්ව විද්‍යාල කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර ‘සීගිස්’ විශ්ව විද්‍යාල කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේ එහිදී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ලකුණු 104 කින් පරාජය කරමිනි.

‘සීගිස්’ විශ්ව විද්‍යාල කණ්ඩායම - ඕවර 17 කදී සියලු දෙනා දැවී 100
(නිපුන් ගමගේ 19, අනුෂ්ක පෙරේරා 20, ලසිත් අබේරත්න 11, චතුරංග කුමාර 17, ජනිත් ලියනගේ 07/3, වනිඳු හසරංග 10/2, ගීෂාන් විමලධර්ම 12/2)

‘බී. එම්. එස්.’ විශ්ව විද්‍යාල කණ්ඩායම - ඕවර 10.4 කදී එක් කඩුල්ලක් දැවී 105
(ගීෂාන් විමලධර්ම 46, හෂාන් දුමිඳු නොදැවී 29, සධීර සමරවික්‍රම නොදැවී 17)

-036

 


අදහස් (0)

රෙඩ් බුල් ශූරතාව බී.එම්.එස්. කණ්ඩායමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.