
(නාමල් පතිරගේ)
කොළඹදී අනිද්දා (12) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය (2026 -28) ඉලක්ක කරමින් සභාපති අපේක්ෂක සුනිල් ගුණවර්ධන මහතා රන් පියවර නමින් මලල ක්‍රීඩා නව ප්‍රවර්ධන සැළැස්මක් එළි දක්වා තිබේ.
වසර 1995 න් පසුව ආරම්භ වූ දශකයක කාලයකින් පසුව රටේ මලල ක්‍රීඩාවේ යම් පසුබෑමක් දක්නට ලැබෙන බැවින් තමා නැවැත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණයට ඉදිරිපත් වීමට තීරණය කළ බව එහි හිටපු සභාපතිවරයෙකුද වන ගුණවර්ධන මහතා පවසයි.
ඒ මහතා ආසියානු ශූරතා හිටපු රන් පදක්කම්ලාභී ක්‍රීඩකයෙකු වන අතරම මෙරට නම ගිය හිටපු මලල ක්‍රීඩා පුහුණුකරුවෙකි. ඔහු පවසන්නේ එසේ කඩා වැටෙමින් තිබූ රටේ මලල ක්‍රීඩාව පසු ගිය සිව් වසරක පමණ කාලයක් තුළ ලද ජාත්‍යන්තර ජයග්‍රාහණ රැසක් තුළින් යම් ප්‍රවර්ධනයක් ලබා තිබීම සතුටට කාරණයක් බවයි.
එම තත්වය අඛණ්ඩව පවත්වා ගෙන යාම සදහා"උසස් පියවරකින් ලෝකය ජය ගනිමු" යන තේමාව යටතේ මෙවර මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය සදහා රන් පියවර ප්‍රවර්ධන වැඩ සටහන හදුන්වා දෙන බව පවසයි.එහිදී ඔහු පවසන්නේ ඒ සදහා ජාතික මලල ක්‍රීඩා සංචිත වසර පුරා පවත්වා ගෙන යාමට කටයුතු කරන බවයි.
අනිද්දා (12 වැනිදා) පෙරවරු 10.00 ට රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය (2026-27) පැවැත්වේ.
එහිදී සුනිල් ගුණවර්ධන මහතාගේ පාර්ශවය නියෝජනය කරමින් ප්‍රධාන ලේකම් ධුරයට වෛද්‍ය ධම්මික සේනානායක මහතා නාමයෝජනා භාරදී තිබේ. ප්‍රධාන ධුර සදහා තරග වැදීමේදී ප්‍රසන්න ඉන්දික හා ලුතිනන් කර්නල් ගීතික නිමන්ත ජයතිලක යන මහත්වරුන්ද හා භාංඩාගාරික ධුරයට රුවන් හේවගේ මහතාද එම පාර්ශවයට සහය පළ කරමින් නාමයෝජනා බාරදී තිබේ.
ඉන්දියාවේ පට්යාලා හිදී මෙරට මලල ක්‍රීඩා පුහුණුකරුවන්ට නේවාසීක පුහුණු පාඨමාලා අවස්ථා සළසාදීම, විදේශීය පුහුණුකරුවන්ගේ සේවය මෙරටට ලබා ගැනීම,ක්‍රීඩකයන්ගේ දක්ෂතා මැන බැලෙන විශේෂ තරග සංවිධානය, වයස 23 න් පහළ ජාතික තරගාවලියක් ආරම්භ කිරීම, ජාත්‍යන්තර තරග සුදුසුකම් නිර්නායකයන් මාස හයකට පෙර ප්‍රකාශයට පත් කිරීම, මලල ක්‍රීඩා තාක්ෂණික නිලධාරීන් සදහා වන ගෙවීම් වැඩි කිරීම හා ඔවුන්ට නිල ඇදුමක් ලබා දීම, සුගතදාස හා දියගම කෘතිම ධාවන පඨ ප්‍රතිසංස්කරණය හා නේවාසික පහසුකම් පුළුල් කිරීම සදහා මලල ක්‍රීඩා ආයතනයේ සහය ලබාදීම, දිස්ත්‍රික් සංගම් වාර්ෂික තරගාවලිය සදහා මලල ක්‍රීඩා ආයතනයෙන් විශේෂ අනුග්‍රාහයක් ලබා දීම, මලල ක්‍රීඩා ආයතන මූලස්ථානය උසස් පහසුකම් සහිතව නවීකරණය කිරීම ආදී ප්‍රවර්ධන වැඩ සටහන් රැසක් සිය සභාපති අපේක්ෂකත්වය යටතේ සුනිල් ගුණවර්ධන මහතා නිලවරණය ඉලක්ක කරමින් කෙටුම්පත් කර තිබේ.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නිලවරණය (2026 -28) සදහා ප්‍රධාන පාර්ශව දෙකකින් නාමයෝජනා ඉදිරිපත් කර තිබේ. සෙසු ප්‍රධාන පාර්ශවයෙන් මෙවර සභාපති ධුරයට තරග වදින්නේ හිටපු පිටියේ ඉසව් ශූරයෙකු හා ප්‍රවීන පරිපාලන නිලධාරීයෙකුද වන ඕල්කට් පාසල් ක්‍රීඩා පදනමේ වත්මන් සභාපති බිමල් ප්‍රසන්න විජයසිංහ මහතායි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.