
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ (2025-26) රග්බි ලීගයේ කුසලාන වටය යටතේ මහනුවර ක්‍රීඩා සමාජය සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර අද (1 වැනිදා) පැවැති තරගය ලකුණු 34-34 ක් ලෙස සමව අවසන් විය. මෙවර තරගාවලියේ මූලික වටයේදී මෙම කණ්ඩායම් දෙක තරග වැදුණු තරගයද ලකුණු සමවීමෙන් නිමාවට පත්ව තිබිණ.
කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 19-17 ක් ලෙස සී.එච්. ක්‍රීඩකයෝ පෙරමුණ ගත්හ. එහිදී සී.එච්. ක්‍රීඩකයන් ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබාගත් අතර මහනුවර ක්‍රීඩකයන් ලකුණු ලබාගත්තේ ගෝල දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගිනි.
දෙවැනි අර්ධයේදී සී.එච්. ක්‍රීඩකයන් දඬුවම් උත්සාහක දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් තවත් ලකුණු 15 ක් රැස්කළ අතර මහනුවර ක්‍රීඩකයෝ ගෝල දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු 17 ක් රැස්කළහ. ඒ අනුව තරගයේ නියමිත වේලාව අවසන් වන විට කණ්ඩායම් දෙකම ලකුණු 34 බැගින් ලබා සම තත්වයේ පසුවිය.
තරගයේ මුල් විනාඩි 15 ඇතුළත ලකුණු රැස්කිරීමට දෙපිලේම ක්‍රීඩකයන් අපොහොසත් වූ නමුත් 17 වැනි විනාඩියේදී සී.එච්. කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් ලබාගත් තනූජ මධූරංග සහ එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් ජනිත් චන්දිමාල් සිය කණ්ඩායම තරගයට අවතීර්ණ කළහ. මහනුවර කණ්ඩායම ලකුණු අතරට පිවිසියේ 20 වැනි විනාඩියේදී හිරුෂ සම්පත් සාර්ථක කරගත් දඬුවම් පහර සමගිනි.
සී.එච්. කණ්ඩායම වෙනුවෙන් 25 වැනි විනාඩියේදී සමිත් වර්ණකුලසූරිය උත්සාහක දිනුමක් ලබාගත්තද, එහි ප්‍රවර්ථනය සාර්ථක කරගැනීමට ජනිත් චන්දිමාල් අසමත් විය. එහෙත් ඉන් නොසැලුණු චන්දිමාල් 33 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් වාර්තා කරමින් සහ එහි ප්‍රවර්ථනයද සාර්ථකර කරගනිමින් සිය කණ්ඩායමට තවත් ලකුණු 7 ක් එක් කළේය.
ඒ අතර වාරයේ මහනුවර කණ්ඩායම වෙනුවෙන් 29 වැනි විනාඩියේදී ශ්‍රීනාත් සූරියබණ්ඩාර ලබාගත් උත්සාහක දිනුම ගෝල දිනුමක් බවට පත්කළ හිරුෂ සම්පත්, ඉන් නොනැවතී 40 වැනි විනාඩියේදී ආකාෂ් මධුෂංක ලබාගත් උත්සාහක දිනුමද ගෝල දිනුමක් බවට පත්කළේ පළමු අර්ධය නිමාවට පත්වන විට දෙපිල අතර පැවැති ලකුණු පරතරය 2 කට අඩු කරමිනි.
දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 10 ක් ගතවන විට එනම් 50 වැනි විනාඩයේදී සී.එච්. කණ්ඩායම වෙනුවෙන් විදෙස් ක්‍රීඩක කෝලි තමනිකාලු උත්සාහක දිනුමක් ලබාගත් නමුත්, 53 වැනි විනාඩියේදී දිලුක්ෂ දංගේ ලබාගත් උත්සාහක දිනුමත්, හිරුෂ සම්පත් සාර්ථක කරගත් එහි ප්‍රවර්ථනයත් හේතුවෙන් ලකුණු තත්වය 24-24 ක් ලෙස සම කිරීමට මහනුවර ක්‍රීඩකයන්ට අවස්ථාව උදා විය.
තරගයේ 63 වැනි විනාඩියේදී සී.එච්. කණ්ඩායමට දඬුවම් උත්සාහක දිනුමක් ප්‍රධානය කිරීමට විනිසුරු තීරණය කිරිමත් සමග ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාව 31 ක් දක්වා ඉහළ ගියද, 71 වැනි විනාඩියේදී මහනුවර කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් ලබාගත් ආකාෂ් මධුෂංක සහ එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් හිරුෂ සම්පත් යළිත් වරක් තරගය සම තත්වයට පත් කළහ.
තරගය නිමාවීමට විනාඩි 5 ක් ඉතිරිව තිබියදී මහනුවර කණ්ඩායමට හිමිවූ දඬුවම් පහර සාර්ථක කරගත් හිරුෂ සම්පත් තරගයේ ලකුණු තත්වය 34-31 ක් බවට පත් කළද, අවසන් විනාඩයේදී සී.එච්. කණ්ඩායම වෙනුවෙන් දඬුවම් පහරක් සාර්ථක කරගත් ජනිත් චන්දිමාල් තෙවැනි වරටත් ලකුණු තත්වය සම කරමින් තරගය ජය පැරදුමකින් තොරව අවසන් කිරීමට සිය කණ්ඩායමට ඉඩ සලසා දුන්නේය.
මහනුවර කණ්ඩායමේ ක්‍රීඩකයන් වන දිනාල් ඒකනායක සහ චාල්ස් ප්‍රවීන් පිළිවෙළින් තරගයේ 22 වැනි විනාඩියේදී සහ 63 වැනි විනාඩියේදී නිතී විරෝධී ක්‍රීඩා විලාෂයන් හේතුවෙන් විනිසුරුගේ අවවාද සමග කහ කාඩ්පත් ලබා විනාඩි 10 බැගින් පිටියෙන් ඉවත්ව සිටියහ.



ඡායාරූප - කුෂාන් පතිරාජ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.