
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ පළඟ ශූරතාව සඳහා පැවැත්වෙන අවසන් මහ තරගය අදත් (20 වැනිදා), කුසලාන ශූරතාව සඳහා පැවැත්වෙන අවසන් මහ තරගය හෙටත් (21 වැනිදා) පැවැත්වීමට නියමිතය.
රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී අද පස්වරු 4.00 ට ආරම්භ වන පළඟ ශූරතා අවසන් මහ තරගයේදී ගුවන් හමුදාවට එරෙහිව පොලිසිය තරග වදිනු ඇත. පළඟ ශූරතාව සඳහා වන ලකුණු සටහනේ පළමු ස්ථානයට පත්වෙමින් ගුවන් හමුදාවත් (ලකුණු 37), දෙවැනි ස්ථානයට පත්වෙමින් පොලිසියත් (ලකුණු 31) පළඟ ශූරතා අවසන් මහ තරගයට පිවිසියේය.
ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝකය මධ්‍යයේ රාත්‍රී 7.00 ට ආරම්භ වන කුසලාන ශූරතා අවසන් මහ තරගයේදී සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව මහනුවර ක්‍රීඩා සමාජය තරග බිමට පිවිසෙනු ඇත. අවසන් මහ තරගයට පිවිසීම සඳහා සී.ආර්. කණ්ඩායම ලකුණු 53 ක්ද, මහනුවර කණ්ඩායම ලකුණු 52 ක්ද ලබා කුසලාන ශූරතාව සඳහා වන ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන හිමිකරගත්හ.
එහිදී කුසලාන ශූරතාව සඳහා පැවැත්වෙන අවසන් මහ තරගයේ ප්‍රධාන විනිසුරුවරයා ලෙස ආසියානු රග්බි සංගමේ ඉහළම ශ්‍රේණියේ විනිසුරු මඩුල්ලේ විනිසුරුවරයකු වන හොං කොං ජාතික ක්‍රෙග් චාන් මහතා කටයුතු කරනු ඇත.
මෙම අවසන් මහ තරග දෙකට අමතරව ලීග් තරගාවලියේ මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වීම හේතුවෙන් සුපිරි වටයට සහභාගි වීමට නොහැකි වූ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය සහ ලකුණු සටහනේ 8 වැනි ස්ථානයට පත්වූ නාවික හමුදාව අතර ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයක් අනිද්දා (22 වැනිදා) පස්වරු. 4.00 සිට වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.