ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය මෙතෙක් ප්‍රමාද වී ඇත්තේ ජාතික ක්‍රීඩා සංගම් 6ක නිලවරණ අත්හිටුවා ඇති නිසා බවත් එය දෙසැම්බර් 31 දාට පෙර ඔලිම්පික් කමිටු නිලවරණය පැවැත්වීමට පියවර ගන්නා බවත් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පවසයි.
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවට අනුබද්ධිත ජාතික ක්‍රීඩා සංගම් 25ක් ක්‍රියාත්මක වන බව පැවසූ මැක්ස්වෙල් ද සිල්වා මහතා ඉන් පාපැදි, හොකී, මේස පන්දු, බොක්සිං, ජූඩෝ සහ හෑන්ඞ් බෝල් යන ක්‍රීඩා සංගම්වල පවතින අභ්‍යන්තර ප්‍රශ්න නිසා මෙතෙක් ඒවායේ නිලවරණ පවත්වා නැති බව පැවසීය.
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව අවසන් වරට සිය නිලවරණය පැවැත්වූයේ 2009 වසරේ දීය. 2013 වසරේදී එම නිලවරණය පැවැත්වීම සඳහා දින වකවානු වෙන්කරවා ගෙන නාමයෝජනා බාර දී තිබූ නමුත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නියෝගයක් මත එය මාස 6 කට අත්හිටුවනු ලැබීය. එහෙත් එම අත්හිටුවීම මේ වන විට වසර තුනහමාරක් දක්වා දීර්ඝ වී ඇත.
ශ්‍රී ලංකාවේ සංශෝධිත ක්‍රීඩා පනත සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ප්‍රඥප්තිය අතර ඇති නොගැලපීම් හේතුවෙන්ද ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය දිනෙන් දින වසරින් වසර කල් දැමීමට සිදුව තිබේ. එහෙත් මේ වන විට ක්‍රීඩා පනත සහ ජාත්‍යන්තර ඔලිම්පික් ප්‍රඥප්තිය අතර නොගැලපීම් සංශෝධනය වී ඇති බැවින් තව සති කිහිපයකින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ අනුමැතිය සඳහා යොමු කිරීමට හැකි බව ඔලිම්පික් කමිටු ලේකම් වරයා පැවසීය.
මේ අතර ඉදිරි ඔලිම්පික් නිලවරණයේදී දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රීඩාවේ ප්‍රවීන පරිපාලකවරයෙකු එහි සභාපතිධූරයට ඉදිරිපත් කිරීමට මේ දිනවල සාකච්ඡා පවත්වන බව ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය. තම පාර්ශවයේ සභාපති ධූර අපේක්ෂකයා කවරෙක්ද යන්න රහසක් බවත් ඔලිම්පික් නිලවරණ ප්‍රකාශ වූ දිනයේ අපේක්ෂකයාගේ නම හෙළිකරන බවත් ලේකම්වරයා පැවසීය.
2013 අත්හිටවූ ඔලිම්පික් කමිටු නිලවරණය සඳහා යළිත් නාම යෝජනා කැදවූ අවස්ථාවේ වොලිබෝල් සම්මේලනයේ හිටපු සභාපති, ඇමති ඩිලාන් පෙරේරා මහතා සහ ශ්‍රී ලංකා රුවල් ඔරු සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන රොහාන් ප්‍රනාන්දු මහතා සභාපති ධූරය වෙනුවෙන් නාම යෝජනා භාර දී තිබුණි. ඇමති ඩිලාන් පෙරේරා මහතා කිසිදු ජාතික සංගමයක නිලතල නොදරණ හෙයින් ඔලිම්පික් සභාපති සිහිනය අතහැර දමා ඇති නමුත් රොහාන් ප්‍රනාන්දු මහතා ඔලිම්පික් කමිටුවේ නමවැනි සභාපති ධූරය සඳහා තරග කරන බව පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.