Last Update  :  2026-03-25 18:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දිස්ත්‍රික්ක 25ම, පාසල් 400ක ක්‍රීඩාංගණ සංවර්ධනයට කෝටි 201ක්

දිස්ත්‍රික්ක 25ම, පාසල් 400ක ක්‍රීඩාංගණ සංවර්ධනයට කෝටි 201ක්

editorial - 2026 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නිමල කොඩිතුවක්කු

සෑම අධ්‍යාපන කලාපයක් තුළම මීටර 400 ධාවන පථයක් සහිත සම්මත ප්‍රමාණයේ එක් ක්‍රීඩා පිටියක් හෝ ස්ථාපිත කිරීම ඇතුළු රජයේ පාසල්වල ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව, දිස්ත්‍රික්කයක එක් ජාතික පාසලක් සහ පළාත් පාසල් 3ක් බැගින් වන සේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි වසර 4 ක් තුළ පාසල් 400 ක ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

රුපියල් මිලියන 2010.50 ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ 2026 සිට 2029 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

තරගකාරී අධ්‍යාපන ක්‍රමය තුළ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාවකට හුරු වීම සහ ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැති වීම ක්‍රීඩා කටයුතු සඳහා පාසල් සිසුන්ගේ සහභාගීත්වය සතුටුදායක නොවන මට්ටමක පැවතීමට බලපා තිබේ.

එම තත්ත්වය ඔවුන්ගේ ශාරීරික, සාමාජීය හා මානසික යහපැවැත්ම ප්‍රවර්ධනයේ දී ගැටලු නිර්මාණය කරන බව නිරීක්ෂණය කර ඇත.

එසේම එම තත්ත්වය ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දැක්විය හැකි විශිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමට ද බලපෑම් ඇති කරයි.

රට තුළ පවත්නා රජයේ පාසල් 10,096 ක් අතරින් 5%ක තරම් අඩු පාසල් ප්‍රමාණයක පමණක් සම්මත ප්‍රමාණයේ ක්‍රීඩා පිටි පවතින බව තහවුරු වී ඇති බැවින්, ක්‍රීඩාව සඳහා සිසුන්ට සමාන අවස්ථාවන් සලසා දීම සහතික කිරීම පිණිස සෑම අධ්‍යාපන කලාපයක් තුළම මීටර 400 ධාවන පථයක් සහිත සම්මත ප්‍රමාණයේ එක් ක්‍රීඩා පිටියක් හෝ ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.


අදහස් (0)

දිස්ත්‍රික්ක 25ම, පාසල් 400ක ක්‍රීඩාංගණ සංවර්ධනයට කෝටි 201ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.