Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දැල්පන්දු ජාතික පුහුණුකරු දීප්ති

දැල්පන්දු ජාතික පුහුණුකරු දීප්ති

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දැල්පන්දු ජාතික පුහුණුකාරිනිය ලෙස දීප්ති අල්විස් මහත්මිය නිර්දේශ කිරීමට ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය පියවර ගෙන ඇතැයි වාර්තා වේ. ඒ සඳහා අයදුම්කාරියන් සිව් දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගි වූ අතර එහිදී ජාතික දැල්පන්දු සහය පුහුණුකාරිනිය ලෙස තෝරාගෙන ඇත්තේ දැල්පන්දු සංගමයේ උප සභාපතිනියක් ලෙසත් කටයුතු කරන යමුනා සඳමාලි මහත්මියයි.

සිංගප්පුරුවේදී පසුගිය දෙසැම්බර් මාසයේදී පැවැති සය කොන් දැල්පන්දු තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස කටයුතු කළ සොමිතා කුමාරි මහත්මිය හා බෲනායි රාජ්‍යයේ දැල්පන්දු පුහුණුකාරිනිය ලෙස දැනට කටයුතු කරන තිලකා ජිනදාස මහත්මියද මෙවර ජාතික දැල්පන්දු පුහුණුකරු තනතුර සඳහා පැවති සම්මුඛ පරීක්‍ෂණයට ඉදිරිපත් වූහ.

කෙසේ වුවත් ජිනදාස මහත්මිය සම්මුඛ පරීක්ෂණයට පෙනී සිට ඇත්තේ ස්කයිප් තාක්ෂණය යොදා ගනිමින් බෲනායි රාජ්‍යයේ සිටිමිනි. එහෙත් පසුව ඇය ඉවත් කිරීමට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය කටයුතු කළ බව වාර්තා වේ.

ජාතික දැල්පන්දු සහය පුහුණුකරු ධුරය සඳහා පැවැති පරීක්‍ෂණයටද අයදුම්කාරියෝ සිව් දෙනෙක් පෙනී සිටියහ. ජාතික දැල්පන්දු පුහුණුකාරිනියට අනුමැතිය ලබා ගැනීම සඳහා දැල්පන්දු සම්මේලනයේ නිර්දේශය අද ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාට යොමුකර ඇතැයිද වාර්තා වේ.

ජාතික දැල්පන්දු පුහුණුකාරිනිය වශයෙන් පත්වූ දීප්ති අල්විස් මහත්මිය මීට පෙර ජාතික දැල්පන්දු කණ්ඩායමේ සහය පුහුණුකාරිනිය ලෙසත් කටයුතු කර තිබේ. ඇය ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ හිටපු නායිකාවකි.

ලබන සැප්තැම්බර් 7 වැනිදා සිංගප්පූරුවේදී ආරම්භ වන ආසියානු දැල්පන්දු ශූරතාවලිය ඉලක්ක කරමින් නව පුහුණුකරු පත්කර තිබේ.

ඊට පෙර ලබන පෙබරවාරි 20 වැනිදා හොංකොං රාජ්‍යයේදී ආරම්භ වන තුන්කොන් ආරාධිත දැල්පන්දු තරගාවලියට සහභාගිවීමටද ශ්‍රී ලංකාව සූදානමින් සිටියි. සත්කාරක හොංකොං රාජ්‍යය හා ආසියානු දැල්පන්දු ශූරියන් වූ මලයාසියාව ඒ සඳහා සහභාගි වන සෙසු රටවල්ය.

මේ අතර ජාතික දැල්පන්දු සංචිතයේ (විවෘත) තේරීම් පරීක්ෂණ හෙට සහ අනිද්දා (10-11) ටොරින්ටන් පෙදෙසේ ක‍්‍රීඩා අමාත්‍යාංශ පිටියේදී පැවැත්වේ. එහිදී ක‍්‍රීඩිකාවන් 35 දෙනෙකු පූර්ව සංචිතය සඳහා තෝරා ගැනේ. අඩි 5 අඟල් 7ට වඩා උසැති ක‍්‍රීඩිකාවන්ට එහිදී පුමුඛත්වය දෙන බව දැල්පන්දු සංගමය පවසයි.

හිටපු ජාතික දැල්පන්දු පුහුණුකාරිනී හයිසින්ත් විජේසිංහ මහත්මිය මෙවර තනතුර සඳහා ඉදිරිපත් නොවූවාය. කෙසේ වුවත් උපදේශිකාවක් ලෙස ඇගේ සේවය ජාතික සංචිතයට තවදුරටත් ලබාගැනීමට දැල්පන්දු සංගමය තීරණය කර තිබේ.

 


අදහස් (0)

දැල්පන්දු ජාතික පුහුණුකරු දීප්ති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.