Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික ක්‍රිකට් පිලෙන් කළුබෝවිලට වෙන්ටිලේටරයක්

ජාතික ක්‍රිකට් පිලෙන් කළුබෝවිලට වෙන්ටිලේටරයක්

editorial - 2021 අගෝ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොවිඩ්-19 වයිරසය ආසාධනය වීමෙන් අසාධ්‍ය තත්ත්වයට පසුවන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කළුබොවිල ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත නව දැඩි සත්කාර ඒකකයට රුපියල් මිලියන 3.7 ක් වටිනා වෙන්ටිලේටර් යන්ත්‍රයක් (ස්වසනය පහසු කිරීමේ යන්ත්‍රයක්) මිලදී ගැනීම සඳහා දායකත්වය දැක්වීමට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයන් තීරණය කර ඇත.

එහි මූලික දායකත්වය වශයෙන් ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ සහ එස්.එල්.සී. ග්‍රේස් කණ්ඩායමේ නායක දසුන් ශානක, මෙම මාසයේදී පැවැති ආරාධිත විස්සයි20 ලීගයේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වීම වෙනුවෙන් ඔහුට හිමිවූ රුපියල් ලක්ෂ දෙකක (200,000) ත්‍යාග මුදල ඒ සඳහා පරිත්‍යාග කළේය. ඉන් අනතුරුව ආරාධිත විස්සයි20 ලීගයේ ශූරතාව දිනාගත් ග්‍රේස් කණ්ඩායමේ කලමණාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා කියා සිටියේ එම කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් සහ සහාය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් එක්ව තවත් රුපියල් දෙලක්ෂ අසූ දහසක (280,000) මුදලක් එම අරමුදලට පරිත්‍යාග කරන බවය.

ශ්‍රි ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සහ හිටපු නායක දිනේෂ් චන්දිමාල්ද එම අරමුදලට මුදල් පරිත්‍යාග කළ බව පැවැසූ දසුන්, කෙසේ හෝ තමන් ඇතුළු කණ්ඩායමට රුපියල් මිලියන 2 ක මුදලක් එක්රැස් කර ගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බවද පැවසීය.  

 “දැනට අපි රුපියල් මිලියනයක් විතර එකතු කරගෙන තියෙනවා. තවත් ජාතික මට්ටමේ ක්‍රීඩකයන් රැසක් අපි සමග අත්වැල් බැඳගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ අයගෙන් ලැබෙන දායකත්වයත් එක්ක අපිට රුපියල් මිලියන 2 ක් පමණ හොයා ගැනීමට හැකි වේවි කියලා මම හිතනවා.” යැයි දසුන් කියා සිටියේය.

‍“ක්‍රිකට් ක්‍රීඩකයන් පමණක් නෙමෙයි. මෙම අරමුදලට මුදල් පරිත්‍යාග කරන්න කැමති හුඟක් අය තව ඉන්නවා. ඒ අයගෙ උදව්වත් ඇතිව ඉතිරි මිලියන 1.7 ත් එකතු කරගන්න අපිට පුළුවන් වේවි. රටේ දැන් පවතින තත්ත්වය අනුව හැකි ඉක්මනින් ‍එම යන්ත්‍රය ලබාගැනීමට දායකත්වය දැක්වීමට අපි බලාපොරොත්තු වෙනවා.” යැයිද දසුන් වැඩි දුරටත් පැවසීය.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු ලෙස කටයුතු කරන කුෂාන් අතුකෝරල මහතා කියා සිටියේ මේ වන විටත් ඔවුන් දැඩි සත්කාර ඒකකය සඳහා සියලු පහසුකම් සහිත ඇදන් 20 ක් සූදානම් කරගෙන ඇති බවත්, එම ඒකකය සම්පූර්ණ කිරීම සඳහා වෙන්ටිලේටර් යන්ත්‍ර 5 ක් අවශ්‍ය වන බවත්ය.

“මේ වෙනකොට අපිට දේශීය සහ විදේශීය ආධාරකරුවන්ගෙන් ඇඳන් 20 ක් ලැබිලා තියෙනවා. ඒ වගේම අවශ්‍යව පවතින වෙන්ටිලේටර් යන්ත්‍ර 5 න් දෙකකුත් මේ වෙනකොට අපිට ලැබිලා තියෙනවා. ඉන් එකක් අයි.සී.බී.ටී. ආයතනයේ සභාපති ජගත් අල්විස් මහතාගේ පරිත්‍යාගයක්. අනෙක් යන්ත්‍රය මගේ මිතුරන් කිහිපදෙනෙකුගේ පරිත්‍යාගයක්.”

“දැඩි සත්කාර ඒකකය සම්පූර්ණ කිරීම සඳහා අපිට වෙන්ටිලේටර් යන්ත්‍ර 5 ක් පමණ අවශ්‍යයි. තෙවැනි වෙන්ටිලේටර් යන්ත්‍රය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් අපිට ලබාදේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.” යැයි අතුකෝරල මහතා කියා සිටියේය. ‍‍

-036

 

 


අදහස් (0)

ජාතික ක්‍රිකට් පිලෙන් කළුබෝවිලට වෙන්ටිලේටරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.