Last Update  :  2026-04-03 14:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිකට් ආයතනයට එරෙහිව නුවන් තුෂාර උසාවියේ

ක්‍රිකට් ආයතනයට එරෙහිව නුවන් තුෂාර උසාවියේ

editorial - 2026 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මනෝප්‍රිය ගුණසේකර

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගිවීමට හැකිවන පරිදි “විරෝධතා නොමැති බව”‍ සඳහන් සහතිකය තමාට නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සම්මි සිල්වා මහතා ඇතුළු ක්‍රිකට් බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර මහතා ගොනුකළ පෙත්සම අප්‍රේල් 9 වැනිදා සලකා බැලීමට කොළඹ දිසා අධිකරණය ඊයේ (2) තීරණය කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියම කර ඇති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් නොවීම හේතුවෙන් විරෝධතා නොමැති බව සඳහන් සහතිකය නිකුත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරුම්කරුවන්ගේ නිර්දේශ හා ස්ථාවරය මත ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධී බව සඳහන් කරමින් නුවන් තුෂාර මහතා නීතීඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මහතා මාර්ගයෙන් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළේය.

ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර මහතා ගොනුකළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, එහි සභාපති ෂම්මි සිල්වා, ලේකම් බන්දුල දිසානායක, භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කර ඇත.

නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මහතා මාර්ගයෙන් අදාළ පැමිණිල්ල ගොනුකරන ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර මහතා තමන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයකු වන බවත් තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ඇතිකරගෙන සිටින ගිවිසුම පසුගිය මාර්තු පළවැනිදා කල් ඉකුත්වීමට නියමිතව තිබූ බවත් සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් තරග සමඟ ගැටුමක් ඇති නොවන ආකාරයට තමන් මීට පෙර ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගවලට සහභාගි වී ඇති බවත් 2024 සහ 2025 වසරවල “රොයල් චැලෙන්ජස්”‍ කණ්ඩායම නියෝජනය කරමින් එම තරගාවලියට සහභාගි වී ඇති තමන්ට එම තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් “විරෝධතාවක් නොමැති බව”‍ දැක්වෙන සහතිකය නිකුත් කළ බව සඳහන් කරන නුවන් තුෂාර මහතා මෙම 2026 වසරේ පැවැත්වීමට නියමිත එම තරගාවලියට සහභාගිවීම සඳහා විරෝධතා නොමැති බව සඳහන් ලිපිය නිකුත් කරන ලෙස ඉල්ලීමක් කළත් ක්‍රිකට් ආයතනය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව ද සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නියම කර ඇති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් නොවීම හේතුවෙන් විරෝධතා නොමැති බව සඳහන් සහතිකය නිකුත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරුම්කරුවන්ගේ නිර්දේශ හා ස්ථාවරය මත ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා තමන්ට දැනුම් දී ඇතැයි සඳහන් කරන පෙත්සම්කරු විරෝධතා නොමැති බව සඳහන් ලිපිය නොමැතිව අදාළ තරගාවලියට සහභාගිවීමට තමන්ට හැකියාවක් නැතැයි ද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ යෝග්‍යතා තක්සේරුව සමත්වීමට අපොහොසත් වූ බව සඳහන් කරුණු ප්‍රතික්ෂේප කරන බවත් මෙම තත්වය යටතේ අදාළ සහතිකය නිකුත් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසිදු සාධාරණ නීතිමය පදනමක් නොමැති බවත් සඳහන් කරන පෙත්සම්කරු ලංකා ක්‍රිකට් ආයතනය සමග තමන් ඇති කරගෙන තිබෙන ගිවිසුම කල් ඉකුත් වී තිබියදී මේ ආකාරයෙන් අදාළ සහතිකය නිකුත් නොකිරීම නීති විරෝධී බවත් සඳහන් කර ඇත.

ඒ අනුව 2026 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගවලට සහභාගිවීම සඳහා හැකිවන පරිදි විරෝධතාවක් නොමැති බව සඳහන් සහතිකය නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර මහතා සිය පෙත්සම් මගින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම ලබන 9 වැනිදා කැඳවීමට තීරණය කළ කොළඹ දිසා විනිසුරුවරයා පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින් වගඋත්තරකරුවන්ට නොතීසී නිකුත් කළේය.

පෙත්සම්කාර නුවන් තුෂාර මහතා වෙනුවෙන් නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත නීතිඥ කාංචන පිරිස් මහතා සමග ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා පෙනී සිටියේය.


අදහස් (0)

ක්‍රිකට් ආයතනයට එරෙහිව නුවන් තුෂාර උසාවියේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.