(නාමල් පතිරගේ)
එංගලන්තයේ බර්මින්හැම් නුවරදී ශ්‍රී ලාංකික ක්‍රීඩක කීඩිකාවන් හා නිලධාරින් පිරිසක් අතුරුදන්ව ඇතැයි කියන සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය ස්වාධීන කමිටුවක් පත් කිරීමට සැරසේ. එහිදී වැරදිකරුවන් වන අයට තරාතිරම නොබලා දඬුවම් ලබා දෙන බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවැසුවේ ජාතික ඔලිම්පික් කමිටුව සිය ශ්‍රවණාගාරයේ පැවැත්වූ උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
එංගලන්තයේ බර්මින්හැම් නුවරදී නිමාවට පත්වූ 22 වැනි පොදු රාජ්‍ය මණ්‍ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනා පිළිගැනීම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
ඊට පැරා රිදී පදක්කම්ලාභී පාලිත බණ්ඩාර, බර ඉසිලීමේ ලෝකඩ පදක්කම්ලාභී ඩිලන්ක ඉසුරු කුමාර හා මල්ලවපොර ලෝකඩ පදක්කම්ලාභිනී නෙත්මි අහිංසා ප්‍රනාන්දු හා ඔවුන්ගේ පෞද්ගලික පුහුණුකරුවන් ඇතුළු ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන් පිරිසක් සහභාගී වූහ.
මලල ක්‍රීඩා ලෝකඩ පදක්කම්ලාභී යුපුන් අබේකෝන් බර්මින්හැම් ක්‍රීඩා උළලෙන් පසුව නැවත ඉතාලිය බලා පිටත්ව ගොස් තිබුණි.
බර්මින්හැම් නුවරදී අතුරුදන් වූ බවට වාර්තාවී තිබෙන ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරින් ගණන 12 කි. ජාතික ඔලිම්පික් කමිටුව අවධාරණය කරන්නේ මාධ්‍ය ආවරණය සඳහා ගිය බව කියන මාධ්‍යවේදීන් දෙදෙනකුද බර්මින්හැම් ශ්‍රී ලාංකිකයන්ගේ අතුරුදන් ලැස්තුවට ඇතුළත් වන බවයි.
එංගලන්තයේදී අතුරුදන් වූ බවට සැකකරන මෙම සියලු දෙනාටම එරට රැඳීසිටීම සඳහා මාස හයකට වලංගුවන වීසා ලැබී තිබේ. ඒ හේතුවෙන් ක්‍රීඩා උළෙලට සහභාගීවී සිටියදී එරටදී අතුරුදන්වූ බවට සැකකරන මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ හැක්කේ ලබන දෙසැම්බර් සමාසයෙන් පසුව බව එංගලන්ත ආගමන හා විගමන ප්‍රධානීන් ඇතුළුව ‘බර්මින්හැම්’ පොලිසිය ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.
වාර්තා වන පරිදි පොදු රාජ්‍ය මණ්‍ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා එංගලන්තයට ඇතුළුවීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරින්ට පසුගිය ජුලි 22 වැනිදා සිට ඉදිරියට දින 180 ක වලංගු වීසා කාලයක් ලැබී තිබේ. ඒ අනුව සැලකීමේදී ඔවුන්ගේ එරට රැඳීසිටීමේ වලංගු වීසා කාලය ලබන ජනවාරි 22 වෙන විට අවසන්වීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා සමස්ත කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මේජර් ජනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා මෙම උත්සවයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවැසුවේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරින් ඇතැමුන් ‘බර්මින්හැම්’ නුවරදී අතුරුදන්වීමේ පිළිබඳව පූර්ව නිගමනවලට පැමිණ සිටියත් එය වළක්වා ගැනීම ප්‍රායෝගිකව දුෂ්කර වූ බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.