Last Update  :  2024-10-07 23:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා සංගම් 4ක් භාරකාර නිලධාරීන් යටතට

ක්‍රීඩා සංගම් 4ක් භාරකාර නිලධාරීන් යටතට

editorial - 2024 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මැයි 29 වැනිදා සිට ක්‍රීඩා ඇමැති නියමයෙන් අත්හිටුවා තිබෙන ජාතික ක්‍රීඩා සංගම් හතරක අත්‍යවශ්‍ය පරිපාලන කටයුතු පවත්වා ගෙන යාම සඳහා බලයලත් සම්බන්ධීකරණ නිලධාරියෙකු බැගින් පත් කර තිබේ.

ඒ අනුව එසේ මැයි 29 වැනිදා සිට ක්‍රියාකාරිත්වය අත්හිටුවා තිබෙන ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සම්බන්ධ්කරණ නිලධාරියා ලෙස පත් කර තිබෙන්නේ එහි හිටපු ලේකම් නලින් අධිකාරිආරච්චිගේ මහතාය.

 ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය වෙනුවෙන් එහිදී සම්බන්ධීකරණ නිලධාරිණිය ලෙස එහි හිටපු විධායක සභාවේ භාංඩාගාරිකා නීතිඥ පද්මිණී හොරණගේ මහත්මිය පත් කර තිබේ. එහිදී අත්හිටුවූ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා (ඔටෝමොබයිල්) සංගමය වෙනුවෙන් සම්බන්ධ්කරණ නිලධාරියා ලෙස පත් වීම් ලබා සිටින්නේ එහි පරිපාලන නිලධාරි තනතුර හෙබවූ රොහාන් ප්‍රනාන්දු මහතාය.

ගෲප් කපිතාන් නලින් ද සිල්වා මහතා සම්බන්ධීකරණ නිලධාරියා ලෙස පත්ව සිටින්නේ මැයි 29 වැනිදා ක්‍රියාකාරිත්වය අත්හිටුවූ ශ්‍රී ලංකා රග්බි සංගමය වෙනුවෙනි.

මෙම පත්වීම් ලිපි ප්‍රදානය ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඊයේ (5) සිදු කෙරුණි.

ඒ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතා අතිනි. ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මැයි 29 වැනිදා අත්හිටුවූ ඉහත ජාතික ක්‍රීඩා සංගම් සම්බන්ධීකරණය සදහා නිසි බලධාරියා ලෙස එදින සිට කටයුතු කරන්නේ ෂේමාල් ප්‍රනාන්දු මහතාය.

නිලවරණ කැදවීමේදී ඇතිවූ ගැටලු මුල් කර ගනිමින් මෙම ජාතික ක්‍රීඩා සංගම් තාවකාළිකව අත්හිටුවීම පිළිබඳව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා නිවේදනය කළේ කිසිදු ලෙසකින් වත් ඒ වෙනුවට අතුරු කමිටු පත් නොකරන බවත් හැකි ඉක්මනින්ම ඒවායෙහි නිලවරණ පවත්වා අවසන් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය අදිටන් කර ගෙන සිටින බවත්ය.

ඒ පිළිබඳව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ෂෙමාල් ප්‍රනාන්දු මහතා පැවැසුවේ ඉදිරි දින 60 කට නොවැඩි කාලයක් තුළදී ඒවායෙහි නිලවරණ පවත්වා අවසන් කිරිමට උපදෙස් ලබාදී තිබෙන බවයි.

ඒ පිළිබඳව ඔහු මෙසේද පැවැසීය.”

‘‘සම්බන්ධීකරණ නිලධාරීන් පත් කිරීමේ අරමුණ වුණේ විශේෂයෙන්ම මෙම ජාතික ක්‍රීඩා සංගම් වල මෙතෙක් පවත්වා ගෙන ගිය පුහුණු සංචිත අඛන්ඩව පවත්වා ගෙන යාම වගේම ජාත්‍යන්තර තරග සහභාගිත්වය තව දුරටත් නොබිදී පවත්වා ගෙන යාමයි.

ඒ හැරෙන්නට ජාතික සංගමයේ වෙනත් පරිපාලන කටයුතු වල නියලෙන්නට ඔවුන්ට හැකියාවක් ලැබෙන්නේ නෑ. විශේෂයෙන්ම අත්හිටුවූ මෙම ජාතික ක්‍රීඩා සංගම් වල ගිණුම් කටයුතු වලට මැදිහත් වෙන්න චෙක් පත් ලියන්න වගේ කටයුතු වලට ඔවුන්ට මැදිහත් වෙන්න බෑ.

මෙම ජාතික ක්‍රීඩා සංගම් අත්හිටුවන විටම අපි ඒවායෙහි හිටපු විධායක සභාවලට දුන් උපදෙස් වුණේ වහාම ලිපි ගොනු බඩුබාහිරාදිය ක්‍රීඩා අමාත්‍යාංශයට බාර දෙන ලෙසයි.’’

මේ අතර ෂේමාල් ප්‍රනාන්දු මහතා පැවැසුවේ බලලත් සම්බන්ධීකරණ නිලධාරීන් පත් කිරීමේදී පළමුව එකී ව්සුරුවා හරින ලද ජාතික ක්‍රීඩා සංගම්හි එතෙක් ධූරයන් දැරූ ප්‍රධානීන් ගැන පළමුව අවධානය යොමු කළ බවයි.

එහිදී පාපැදි සම්මේලනයේ එතෙක් සභාපති ධූරය දැරූ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සම්බන්ධීකරණ නිලධාරී ධූරය බාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. දැල්පන්දු සම්බන්ධීකරණ නිලධාරි ධූරය බාර ගැනීම එතෙක් දැල්පන්දු සම්මේලනයේ සභාපති ධූරය දැරූ ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය මෙන්ම ලේකම් ධූරය දැරූ නිලධාරිනියද ප්‍රතික්ෂේප කර සිටි බව මේ අතර වාර්තාවේ.

අනතුරුව එහි භාණ්ඩාගාරිකවරිය විසින් එම තනතුරු බාර ගෙන තිබේ. පාපැදි සම්මේලනයේ බලලත් සම්බන්ධීකරණ නිලධාරී නලින් අධිකාරිආරච්චිගේ මහතා පැවැසුවේ පාපැදි සම්මේලනය කලින් යොදා ගෙන තිබූ දේශීය තරග මාලා කීපයක් පැවැත්වීමට කටයුතු කරන බවයි.

එසේම විදේශීය පාපැදි පුහුණු පාඨමාලාවක් සදහා මෙරට අපේක්ෂයන් දෙනෙකු සහභාගි කිරීමටත් ඉදිරියේදී කටයුතු කරන බවයි. ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලිය ඉලක්ක කරමින් මේ වන විට ජාතික දැල්පන්දු පුහුණු සංචිතය පවත්වා ගෙන යයි. ඒ සැප්තැම්බර් මාසයේදී සෞදි අරාබියේදී පැවැත්වෙන 2024 ආසියානු දැල්පන්දු තරගාවලිය සඳහාය.

කෙසේවුවත් මැයි 30 වැනිදා පැවැත්වීමට සියලු කටයුතු යොදා ගෙන තිබියදී දැල්පන්දු නිලවරණය ක්‍රීඩා ඇමැතිවරයාගේ නියමයෙන් මැයි 29 වැනිදා අත්හිටුවනු ලැබීය.


අදහස් (0)

ක්‍රීඩා සංගම් 4ක් භාරකාර නිලධාරීන් යටතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.