Last Update  :  2025-02-12 14:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලාහෝර් සාග් ක්‍රීඩා උළෙල තීරණය කෙරෙන සාකච්ඡාවක් 24 දා

ලාහෝර් සාග් ක්‍රීඩා උළෙල තීරණය කෙරෙන සාකච්ඡාවක් 24 දා

editorial - 2025 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වසර කීපයක් තිස්සේ අත්හිටුවා තිබෙන පාකිස්තානය සත්කාරය දරන 14 වැනි සාග් (දකුණු ආසියානු) ක්‍රීඩා උළෙල මෙම වසරේදී පවත්වා අවසන් කිරීමේ හැකියාව පිළිබදව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් පෙබරවාරී 24 වැනිදා පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී කැඳවා තිබේ.

ලාහෝර් සාග් ක්‍රීඩා උළෙලේ මෙහෙයුම් කමිටුව විසින් කැඳවා තිබෙන මෙම සාකච්ඡාවට, ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් හා එහි ක්‍රීඩකයන්ගේ කමිටුවේ සභාපති නිලූක කරුණාරත්න යන මහත්වරුන් සහභාගිවීමට නියමිතය.

එය වසර 2022 ට පෙර පවත්වා අවසන් කළ යුතුව තිබුණත් මේ දක්වා එය සංවිධානය කිරීමට පාකිස්තානය අසමත්ව සිටියි. ඒ හේතුවෙන් පෙබරවාරී 24 වැනිදා කැඳවෙන සාකාච්ඡාව තීරණාත්මක වනු ඇතැයිද වාර්තාවේ.

ලාහෝර් සාග් ක්‍රීඩා උළෙල පැවැත්වීමට මෙතෙක් ගත් උත්සහායයන් අසාර්ථකවීමට ප්‍රධානතම හේතුන් ලෙස සැළකෙන්නේ පාකිස්තානයේ අවුල් වියවුල් තත්වයන් හා පාකිස්තානයේ සත්කාරය සම්බන්ධයෙන් ඉන්දීයාව දක්වන උදාසීන පිළිවෙතයි. ඒ පාකිස්තානයේ සත්කාරය මෙතෙක් ඉන්දීයාව නිල වශයෙන් පිළිනොගැනීමයි.

කෙසේවූවත් ලාහෝර්, ඉස්ලාමාබාද්, රාවල්පින්ඩි හා ෆයිසලාබාද් යන නගර යොදා ගනිමින් 14 වැනි සාග් ක්‍රීඩා උළෙල පැවැත්වීමට තමන් සූදානම් බව පාකිස්තානය අවධාරණය කර තිබේ. අවසන් වරට සාග් ක්‍රීඩා උළෙලක සත්කාරය පාකිස්තානය දරා ඇත්තේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත් වූ නව වැනි සාග් ක්‍රීඩා උළෙලේදීය.

දකුණු ආසියානු ඔලිම්පික් සභාව විසින් 2019 දී ලාහෝර් සාග් ක්‍රීඩා උළෙලේ සත්කාරය පාකිස්තානයට නිල වශයෙන් ප්‍රදානය කළේය. ඒ සඳහා පාකිස්තාන රුපියල් බිලියන හතරකට ආසන්න වියදමක් දරන බව මීට පෙර පාකිස්තානය ප්‍රකාශ කර තිබුණි.

පැවැති අවසන් (13 වැනි) සාග් ක්‍රීඩා උලෙළ වසර 2019 දෙසැම්බර් මාසයේදී කත්මන්දු නුවරදී පැවැත්වුණි. එහිදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 40 ක් රිදී පදක්කම් 83 ක් හා ලෝකඩ පදක්කම් 128 ක් දිනා තෙවැනි තැන ලැබීය. ඉන්දීයාව රන් පදක්කම් 174 ක් (මුළු පදක්කම් 312 ක්) දිනා එහි ජයග්‍රාහණය හිමි කර ගත්තේය.

පාකිස්තානය සත්කාරයෙන් ඉවත් වන්නේ නම් මාලදිවයින හා හවුල් වෙමින් 14 වැනි සාග් ක්‍රීඩා උළෙලේ සත්කාරය තමන් බාර ගැනීමට සූදානම් බව වරක් ශ්‍රී ලංකාව ප්‍රකාශ කර තිබුණි.


අදහස් (0)

ලාහෝර් සාග් ක්‍රීඩා උළෙල තීරණය කෙරෙන සාකච්ඡාවක් 24 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.