Last Update  :  2024-12-14 15:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තරගාවලිය නොතිබ්බොත් දඩය ඩොලර් 10,000 යි

තරගාවලිය නොතිබ්බොත් දඩය ඩොලර් 10,000 යි

editorial - 2024 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දෙසැම්බර් 18 වැනිදා සිට 22 වැනිදා දක්වා මීගමුවේදී පැවැත්වීමට නියමිත මධ්‍යම ආසියානු  වෙරළ වොලිබෝල් (කාන්තා සහ පිරිමි ) තරගමාලාවේ සත්කාරය දැරීමේ වියදම් සොයා ගැනීම ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට  බෙහෙවින් දුෂ්කර කාර්යයක් වී ඇතැයි වාර්තාවේ. ඒ අනුව ශ්‍රී ලංකාවට මෙම තරගාවලිය සංවිධානය කරගත නොහැකි වුවහොත් ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් දස දහසක (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 29 කට වැඩි මුදලක්)  දඩයකට යටත්වීමට සිදු වන තත්ත්වයක් තිබේ. 

මීට පෙර ක්‍රීඩා හා සංචාරක ඇමැති ධූරයේ කටයුතු කළ හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමක් පරිදි ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මෙම ජාත්‍යන්තර වෙරළ වොලිබෝල් තරගාවලියේ සත්කාරයට ඉල්ලුම් කළේය. 

පසුගිය සැප්තැම්බර් 21 වැනිදා සිදුවූ ආණ්ඩු පෙරළියෙන් පසුව හරීන් ප්‍රනාන්දු  මහතා ඇමැති ධූරයෙන් ඉවත්ව ගිය පසුව 
තරගාවලියේ සත්කාරය සම්බන්ධයෙන් ව්‍යාකූල තත්වයක් නිර්මාණයවී තිබේ. 

හිටපු ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ  හා ලංකා සංචාරක මණ්ඩලයේ ප්‍රධානින් සාකාච්ඡාවකට කැඳවමින් ප්‍රකාශ කර ඇත්තේ විදේශීය සංචාරකයන් ගෙන්වා ගැනීම ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ලෙස මෙම තරගාවලිය මීගමුවේදී පැවැත්වීමට සූදනම් කරන ලෙසයි. එහි අනුග්‍රහය (වියදම්) සම්බන්ධයෙන් ලංකා සංචාරක මණ්ඩලය වග බලා ගන්නා බැවින් තරගාවලිය ශ්‍රී ලංකාවේදී සංවිධානය කිරීමේ වගකීම ගැන පමණක් අවධානය යොමු කරන ලෙස ද හිටපු ක්‍රීඩා ඇමැතිවරයා වොලිබෝල් සම්මේලනයට උපදෙස්දී තිබේ.

කෙසේවූවත්  එම සාකච්ඡාවලට සහභාගිවූ සංචාරක මණ්ඩලයේ ප්‍රධානීන්ද ආණ්ඩු පෙරළියෙන් පසුව ඉවත්ව සිටින බැවින් ප්‍රශ්නය වඩාත් බැරෑරූම්වී ඇතැයිද වාර්තාවේ.

මේ පිළිබදව ලංකාදීපය කළ විමසුමදී මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ මෙන්ම ශ්‍රී ලංකා වොලිබෝල්  සම්මේලනයේද ප්‍රධාන ලේකම් ධූර දරන ඒ. එස්. නාලක මහතා පැවැසුවේ මෙම වෙරළ වොලිබෝල් තරගාවලිය සඳහා අවම වශයෙන් රුපියල් මිලියන 11 ක් පමණ වැය වන බවයි. කෙසේ වෙතත් අනුග්‍රාහකයකු සොයාගැනීම සඳහා ශ්‍රී ලංකා වොලිබෝල්  සම්මේලනය තවදුරටත් කැපවී ක්‍රියා කරන බවත් එහි යම් ප්‍රගතියක් මේ වන විට ඇතිවී තිබෙන බවත් නාලක මහතා වැඩිදුරටත් පැවැසීය.

ශ්‍රී ලංකාවට තරගාවලියේ සත්කාරය අත් හැර ගැනීමට සිදුවුවහොත් එය රටට වන අපකීර්තියක් වන බැවින් එය යොදා ගත් පරිදි පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හැකි උපරිම උත්සාහයෙන් කටයුතු කරන බවත් ඔහු වැඩි දුරටත් පැවැසීය.

මෙම ජාත්‍යන්තර වෙරළ වොලිබෝල්  තරගමාලාව සදහා කාන්තා හා පිරිම් කණ්ඩායම් 14 ක් සහභාගිවීමට නියමිතය. 

කාන්තා හා පිරිම් ඉසව් දෙකේම ශූරතාව හා අනුශූරතාව ලබන කණ්ඩායම් හතර මීළඟ වසරේදී පැවැත්වෙන ආසියානු වෙරළ වොලිබෝල් (කාන්තා- පිරිමි) තරගමාලව සදහා මධ්‍යම ආසියානු කලාපයෙන් නිර්දේශ ලබයි.

ශ්‍රී ලංකාව සත්කාරය දැරූ මධ්‍යම ආසියානු  වයස 18 න් පහළ ( බාලක) වොලිබෝල් තරගාවලිය ඉකුත්දා කොළඹදී අවසන් විය. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 23 ක වියදමක් දැරීය. ඒ වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය සැපයූයේ රුපියල් මිලියන 3 කි. 


අදහස් (0)

තරගාවලිය නොතිබ්බොත් දඩය ඩොලර් 10,000 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.