Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International හෝල්ඩර් ශ්‍රී ලංකා ඉනිම වනසයි

හෝල්ඩර් ශ්‍රී ලංකා ඉනිම වනසයි

දමින්ද විජේසූරිය - 2021 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නායකත්වය අහිමි වූවද ජාතික කණ්ඩායම වෙනුවෙන් තමන්ගෙන් විය යුතු යුතුකම් කොටස නොපිරිහෙළා ඉටුකළ ජේසන් හෝල්ඩර්ගේ විශිෂ්ට පන්දු යැවීමත් කෙමර් රෝච්ගේ සාර්ථක සහයෝගයත් නිසා පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදීම ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 169 කට දවාගැනීමට කොදෙව්වෝ සමත් වූහ. ඇන්ටිගුවාහි අද (21 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට සත්කාරක කොදෙව් පිල සිය මුල් ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 13 ක් ලබාගෙන සිටියේ  ඕවර 13 කට මුහුණ දීමෙන් අනතුරුවය. 

ශ්‍රී ලංකා කණ්ඩායම කල්වේලා ඇතිවම දවාගත් නමුත් කෙදෙව්වන්ගේ තරගයට පිවිසීම බෙහෙවින් මන්දගාමී විය. 

දිවා ආහාරයට පෙරම කඩුලු 3 ක් අහිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් පිතිකරුවෝ දෙදෙනෙක්ම තේ පානයට පෙර ආපසු ක්‍රීඩාගාරයට ගියහ. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තේ කෝප්පයක රස බැලුවේ කඩුලු 5 ක් දැවී ලකුණු 129 ක් පමණක් පුවරුවේ තිබූ තරමක් අවදානම් අඩියක සිටිමිනි. එහෙත් ළහිරු තිරිමාන්න සහ නිරෝෂන් දික්වැල්ල දෙදෙනාම පිටියේ සිටි බැවින් කිසියම් බලාපොරොත්තුවක් තිබිණ. 

දෙදෙනා අතර පැවැති සම්බන්ධතාව ලකුණු 58 ක් වූවත් දික්වැල්ල තරමක් ඉක්මන්කාරී පිතිහරඹයක නිරත විය. පිට ඉන්නට එපිටින් යන පන්දු හඹායමින් පහර දීමට උත්සාහ කළ දික්වැල්ල ඇතැම් පහර සඳහා නැවත නැවතත් පෙළඹීමේ ප්‍රතිඵලය වුයේ ජේසන් හෝල්ඩර්ගේ පන්දුවකින් රකීම් කොන්වෝල්ට උඩපන්දුවක් ලැබීමයි. 

ලකුණු 150 ක්ව තිබියදී දික්වැල්ලගේ දැවීයාමත් ඉනිමේ නිමාවත් අතර පැවැතියේ ලකුණු 19 ක පරතරයකි. ඒ අතරවාරයේදී තවත් පිතිකරුවෝ සිව් දෙනෙක් ආපසු ක්‍රීඩාගාරයට ගියහ. 

දිගු, වෙහෙසකර ඉනිමකට පසුව ළහිරු තිරිමාන්න දැවීගියේ හෝල්ඩර්ගේ 200 වැනි පළමු පෙළ කඩුල්ල ඔහුට තිළිණ කරමිනි. පැය 5 කට ආසන්න කාලයක් පිටියේ ගතකළ තිරිමාන්න, පන්දු 180 කට මුහුණ දෙමින් ඒවායින් 4 ක් පමණක් සීමාවෙන් පිටතට යැවීය. 

තිරිමාන්න දවාගැනීමේ සිට ඉනිමේ කඩුලු 5 සම්පූර්ණ කරගැනීම හෝල්ඩර්ට අපහසු නොවීය. නිරතුරුව නිසි ඉලක්කයකට පන්දු යැවීමට පුරුදු පුහුණු වී සිටින හෝල්ඩර් විසින් සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර සහ ලසිත් ඇඹුල්දෙණිය එක පෙළට දවාගන්නා ලදි. 

කාසියේ වාසිය දිනා පන්දු යැවීම තෝරාගත් කොදෙව්වෝ තේ පානය දක්වාම ඉලක්කගත පන්දු යැවීමක නිරත වූහ. කඩුල්ලට පිටතින් සිට පන්දු යැවීම ඇරඹූ කෙමර් රෝච් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාම මහත් හිසරදයක් විය. දිමුත් කරුණාරත්නගේ පහසු උඩපන්දුවක් පොයින්ට්හි සිටි ජර්මේන් බ්ලැක්වුඩ් වෙතින් ගිළිහී ගිය නමුත් රකීම් කොන්වෝල්ගෙන් වමත් පිතිකරුවාට දිගු ගමනක් යාමට අවසර නොලැබිණ. 

අනපේක්‍ෂිත දුවද්දී දැවීයාමකින් ශ්‍රී ලංකා පිලේ දෙවැනි කඩුල්ල දැවීගිය අතර දිවා ආහාරයේ සුවඳ දැනෙමින් තිබියදීම දිනේෂ් චන්දිමාල්ගේ දැවීයාම ශ්‍රී ලංකා කණ්ඩායම බලපොරොත්තු නොවූ අකරතැබ්බයක් විය. ඒ වන විට ලකුණු පුවරුවේ සටහන්ව තිබුණේ ලකුණු 54 ක් පමණි. 

 
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව - පළමු ඉනිම 
දිමුත් කරුණාරත්න - ඇ.කැම්බල් ප.කොන්වෝල්  12
ළහිරු තිරිමාන්න - ප.හෝල්ඩර්  70
ඕෂධ ප්‍රනාන්දු - දුවද්දී දැවී ගියා 4
දිනේෂ් චන්දිමාල් - ඇ.ජොෂුවා ද සිල්වා ප.හෝල්ඩර් 4
ධනංජය ද සිල්වා - ප.කෙමර් රෝච් 13
පැතුම් නිස්සංක - ඇ.හෝල්ඩර් ප.රෝච්  9
නිරෝෂන් දික්වැල්ල  - ඇ.කොන්වෝල් ප.හෝලඩර් 32
සුරංග ලක්මාල් - ඇ.බ්‍රැත්වෙයිට් ප.හෝල්ඩර් 3
දුෂ්මන්ත චමීර - ප.කෙමර් රෝච්  2
ලසිත් ඇඹුල්දෙණිය - ක.මු.කළා ප.හෝල්ඩර් 3
විශ්ව ප්‍රනාන්දු  - නොදැවී  1
අතිරේක -  16
එකතුව - ඕවර 69.4 කදී සියලු දෙනා දැවී  169
කඩුලු වැටීම :   
1-17(කරුණාරත්න), 2-29(ඕෂධ), 3-54(චන්දිමාල්), 4-76(ධනංජය), 5-92(නිස්සංක), 6-150(දික්වැල්ල), 7-160(තිරිමාන්න), 8-163(ලක්මාල්), 9-164(දුෂ්මන්ත) 10-169(ඇඹුල්දෙණිය)
පන්දු යැවීම  
කෙමර් රෝච් : 16-2-47-3, ෂැනන් ගේබි්‍රයෙල් : 9-2-22-0, රකීම් කොන්වෝල් : 14-6-25-1, අල්සාරි ජෝෂප් : 11-2-32-0, ජේසන් හෝල්ඩර් : 17.4-6-27-5, කයිල් මේයර්ස් : 2-0-06-0
   
බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම 
ක්‍රෙග් බ්‍රැත්වෙයිට් - නොදැවී 3
ජෝන් කැම්බල් - නෙදැවී  7
අතිරේක 3
එකතුව ඕවර 13 කදී කිසිවකු නොදැවී  13
පන්දුවට පහර දීමට සිටින පිතිකරුවෝ :   
නිකෲමා බෝනර්, කයිල් මේයර්ස්, ජර්මේන් බ්ලැක්වුඩ්, ජොෂුවා ද සිල්වා, ජේසන් හෝල්ඩර්, රකීම් කොන්වෝල්, අල්සාරි ජෝෂප්, කෙමර් රෝච් සහ ෂැනන් ගේබි්‍රයෙල්
පන්දු යැවීම :   
සුරංග ලක්මාල් : 6-1-07-0, විශ්ව ප්‍රනාන්දු : 4-3-02-0, දුෂ්මන්ත චමීර : 2-1-02-0, ලසිත් ඇඹුල්දෙණිය : 1-0-01-0
 

අදහස් (0)

හෝල්ඩර් ශ්‍රී ලංකා ඉනිම වනසයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.