Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International හිතුවක්කාරකම පරාජය කළ ක්‍රමාණුකූල ආක්‍රමණයක්

හිතුවක්කාරකම පරාජය කළ ක්‍රමාණුකූල ආක්‍රමණයක්

editorial - 2021 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

 

විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේදී දඟ පන්දුවට කළ හැකි දේ මේ යයි කදිමට පෙන්වා දුන් තබ්රේස් ශම්සි ඇතුළු දකුණු අප්‍රිකානුවෝ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා පිල ලකුණු 103 කට සීමා කළහ. ප්‍රේමදාස ක්‍රීඩාංගණය දඟ පන්දු යවන්නන්ගේ පරාදීසයක් වූවත්, ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ කිසිදු අපහසුතාවකින් තොරවම සිය ඉලක්කය කරා ගිය දකුණු අප්‍රිකානුවෝ කඩුලු 9 කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කළහ.

මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙසින් තරගාවලිය ජයගැනීමටත් දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ.

ඉවක් බවක් නැතිව නොව, ක්‍රමානුකූල ආක්‍රමණයක නිරත වූ ක්වින්ටින් ඩි’කොක් පන්දු 48 කින් නොදැවී ලකුණු 58 ක් ලබාගත්තේ වි-20 තරගයකදී ඉදිරිපෙළ පිතිකරුවකුට අවශ්‍ය වන්නේ හිතුවක්කාරකම නොව ක්‍රමාණුකූල ආක්‍රමණය බව මොනවට පැහැදිළි කරමිනි. ඔහුගේ ඉනිමට නිළකුණු පන්දු 15 ක් අයත් වූ නමුත් ඊට හතරේ පහර 7 ක් අන්තර්ගතව තිබිණ.

රාත්‍රී 9.40 ට පමණ වර්ෂාව ඇතිවු හෙයින් තරගය තාවකාළිකව නතර කෙරිණ. එහෙත් ඒ වන විට දකුණු අප්‍රිකානුවෝ අපේක්‍ෂිත ඉලක්කයට වඩා බොහෝ ඉදිරියෙන් සිටියහ. කඩුල්ලක් පමණක් දැවී ඕවර 9 කදී තරග කළේ නම් ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය වූයේ ලකුණු 40 ක් පමණි. එහෙත් ඒ වන විට ලකුණු 65 ක් දකුණු අප්‍රිකානු පුවරුවේ සටහන් වී තිබිණ. කෙසේ වෙතත් රාත්‍රී 10.20 ට යළි ඇරඹණු තරගයේදී ශ්‍රී ලංකා පිලට ගැලවීමක් නොවිණ.

තමන් කෙරේ තැබූ විශ්වාසය අකුරටම තහවුරු කළ දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 103 කට සීමා කළහ. විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේදී ලෝකයේ අංක 1 හිමි පන්දු යවන්නා වන තබ්රේස් ශම්සි සිය චයිනමන් පන්දුවලින් ශ්‍රී ලංකා පිතිකරුවන් මංමුළා කරමින් ලකුණු 20 කට කඩුලු 3 ක් දවාගත්තේ කණ්ඩායමේ නිත්‍ය වේග පන්දු යවන්නන්ට වෙහෙස වීමට ඉඩ නොතබමිනි.

ශ්‍රී ලංකා ඉනිම පුරාම තිබුණේ හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් පමණි. ශ්‍රී ලංකා පිතිකරුවන් මුහුණ දුන් පන්දු 109 න් පන්දු 51 ක්ම නිළකුණු පන්දු විය.

පළමු තරගයේදී මෙන් නොව, මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලට ප්‍රවේගකාරී ආරම්භයක් ලැබුණ නමුත් ඒ අතරවාරයේදී අපේක්‍ෂා කළාට වැඩියෙන් කඩුලු බිඳ වැටිණ. ඕවර 6 ක් නිමා වන විට ලකුණු 52 ක් පුවරුවේ තිබූ නමුත් 13 වැනි ඕවරය වනවිට ලකුණු 86 ක් ඇතුළත 6 වැනි පිතිකරුවාත් ආපසු ක්‍රීඩාගාරයට ගොස් සිටියේය.

දඟ පන්දු යවන්නන්ගේ පීඩනය කොතෙක්ද යත් ලකුණු 3 ක් ඇතුළතදී ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු 4 ම බිඳවැටුණේ වරෙක කඩුලු 6 කට 100 ක් ව තිබූ ලකුණු පුවරුවේ ඉලක්කම් කරකැවීම 103 දී නතර කරමිනි.
දකුණු අප්‍රිකානුවන් වේග පන්දු යැවීමට කීර්තියක් උසුළන නමුත් අද තරගයේදී බිඳවැටුණු කඩුලු 10 න් වේග පන්දු යවන්නකුට හිමිවූයේ එකක් පමණි. බියොන් ෆෝචූන් (2), ඒඞ්න් මාක්රම් (3), කේෂව් මහාරාජ් (1) සහ තබ්රේස් ශම්සි (3) කඩුලු 9 ක් බෙදාහදා ගත්හ.

 

 

- 213


අදහස් (0)

හිතුවක්කාරකම පරාජය කළ ක්‍රමාණුකූල ආක්‍රමණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.