Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්ත පිලේ සිටින විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයා වන බෙන් ස්ටෝක්ස්, නැවත දන්වන තුරු ක්‍රිකට් ක්‍රීඩාවෙන් විරාමයක් ලබාගෙන තිබේ. සිය මානසික තත්ත්වය යහපත් මට්ටමක පවත්වාගැනීම සඳහා ඔහු මෙම තීරණය ගෙන ඇති බව එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය තහවුරු කරයි.
අන්තර්ජාතික තරග වලදී තිබෙන අධික පීඩනය හේතුවෙන් ඉතාම මෑතකදී තරග බිමෙන් ඉවත් වූ සුපිරි තරුව බෙන් ස්ටෝක්ස්ය.
ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා වන සංචිතයෙන් ස්ටෝක්ස් ඉවත් වී තිබේ. මෙම තරගාවලිය ලබන 4 වැනිදා නොටිංහැම් නුවර ට්‍රෙන්ට්බ්‍රිජ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. එම තරගාවලියේදී ස්ටෝක්ස්ගේ ස්ථානය ක්‍රෙග් ඔවර්ටන්ට හිමිවනු ඇත.
“ස්ටෝක්ස් එංගලන්ත සංචිතයෙන් ඉවත් වුණා. ඒ ඔහුගේ මානසික තත්ත්වය යහපත් මට්ටමක තබාගැනීමට වගේම තවමත් හරිහැටි සුව නොවූ වමතේ මහපටැඟිල්ල නිසි පරිදි සුවකරගැනීමට කාලය ලබාගැනීමටයි” යයි එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයේ නිවේදනයකින් කියැවිණ.
ශ්‍රී ලංකාව සමග පැවැති එක්දින සහ විස්සයි-20 තරගාවලිය අවසානයේදී එංගලන්ත කණ්ඩායම තුළ කොරෝනා වයිරසය පැතිරී ගියේය. එබැවින් පාකිස්තානයට එරෙහිව පැවැති සීමිත ඕවර තරගාවලියෙන් සමස්ත එංගලන්ත කණ්ඩායමම ඉවත් කරන ලදි. එම අවස්ථාවේදී ඉදිරිපත් වූ 30 හැවිරිදි ස්ටෝක්ස් තරුණ කණ්ඩායමකට නායකත්වය දෙමින් එක්දින සහ විස්සයි-20 තරගාවලියේදීත් එංගලන්ත පිල ජයග්‍රහණය කරා මෙහෙයවීය.
තරග බිමෙන් විරාමයක් ගැනීමට ස්ටෝක්ස් තීරණය කළේ ඇමරිකානු ජිම්නාස්ටික් තරුවක් වන සිමෝනා බයිල්ස් සිය ඔලිම්පික් ඉසව් දෙකෙන්ම ඉවත් වීමට තීරණය කිරීමෙන් දෙදිනකට පසුවය. 24 හැවිරිදි සිමෝනා ඔලිම්පික් ඉසව් දෙකින්ම ඉවත් වූයේත් මානසික තත්ත්වය යහපත් මට්ටමක තබාගැනීමේ අරමුණ ඇතිවය.
සිමෝනා මෙන්ම ජපානයේ ටෙනිස් ක්‍රීඩිකා නයෝමි ඔසාකාද ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියෙන් මෙන්ම විම්බල්ඩන් තරගාවලියෙන්ද ඉවත් වූයේ මානසික සෞඛ්‍ය හේතු ඉදිරිපත් කරමිනි. ඔසාකාගේ ප්‍රධානතම චෝදනාවක් වූයේ තරග පරාජය වීමෙන් පසුව ඔවුන් අපහසුතාවට පත්කිරීමට මිනිසුන් උත්සාහ කරන බවයි.
ස්ටෝක්ස්ගේ හදිසි ඉවත්වීම එංගලන්ත තේරීම් කමිටුවට මහත් අසීරුතාවක දැමීමකි. විශ්වාසය තැබිය හැකි පිතිකරුවකු මෙන්ම ඕනෑම අවස්ථාවක බර කරට ගත හැකි පන්දු යවන්නකුද වන හෙයින් ස්ටෝක්ස්ගේ හිදැස පිරවීම පහසු නොවේ. ඇරත් මේ වසර මුලදී ඉන්දියාවේදී පැවැති ටෙස්ට් තරගාවලිය පරාජය වී සිටින බැවින් එංගලන්තයේදී අසාර්ථක වීමත් එංගලන්තය හමුවේ ඇති අනියත බියකි.
ඒ කෙසේ වෙතත් ස්ටෝක්ස්ගේ තීරණය සම්බන්ධයෙන් තමන් සම්පූර්ණ සහයෝගය දක්වන බව එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය කියයි.
“තමන්ගේ හැඟීම් සහ මානසික තත්ත්වය ගැන විවෘතව කියන්න තරම් බෙන් ඉතාම ධෛර්ය සම්පන්න වුණා. අපගේ ප්‍රධානතම කාරණයත් ක්‍රීඩකයන්ගේ මානසික සෞඛ්‍යය නිසි පරිදි පවත්වා ගැනීමට උදව් දීමයි. ඇරත් මේ වගේ වසංගත කාලයකදී, ඉහළම තලයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට තිබෙන පීඩනය වගේම ඔවුන්ගෙන් කරනු ලබන අපේක්‍ෂාවලත් කෙළවරක් නෑ”
“තමන්ගේ සමීපතමයන්ගෙන්, පවුලේ අයගෙන් මෙන්ම ආදරය හිමි - ලැබෙන අයගෙන් දිගින් දිගටම ඈත්වෙලා ඉන්න වෙන එකත් පහසු දෙයක් නෙමේ. පසුගිය මාස 16 පුරාම, එවන් තත්ත්වයකට මුහුණ දෙමින්, සීමිත නිදහසක් ඇතිව සිටීම සෑම දෙනාගේම මානසිකත්වය කෙරේ සෑහෙන බලපෑමක් කරලා තියෙනවා... ඒ නිසා බෙන්ට ඕනෑ තරම් කාලයක් ලැබෙනවා” යයි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධානී, ඈෂ්ලි ජයිල්ස් මහතා පැවසීය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.