Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රෙයාස් - අශ්වින් දිල්ලිය දිනවති

ශ්‍රෙයාස් - අශ්වින් දිල්ලිය දිනවති

editorial - 2021 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉතාමත් අවිනිශ්චිත වූවත්, සැලසුම් සහගත ගමනක යෙදුණු දිල්ලි කැපිටල්ස් පිතිකරුවෝ මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව සාජා නුවරදී අද (02 වැනිදා) පැවැති අයි.පී.එල්. තරගයේදී කඩුලු  4 ක තියුණු ජයක් අත්කරගත්හ. මෙම තරගාවලියේදී පන්දු යවන්නන් විසින් ආරක්‍ෂා කරගන්නා ලද අඩුම ලකුණු සංඛ්‍යාව බවට මුම්බායි ඉන්දියන්ස් පිලේ ලකුණු 129 පත්වීමේ කිසියම් අවස්ථාවක් තිබූ නමුත් අවසන් ඕවරයේදී කෘනාල් පාණ්ඩ්‍යා හමුවේ ගැසූ හයේ පහරකින් ජයග්‍රාහී ලකුණ ලබාගැනීමට රවිචන්ද්‍රන් අශ්වින්ට හැකිවිය.

සාජා පිටියේදී ලකුණු ලබාගැනීම එන්න එන්නම අසීරු වී තිබේ. මුම්බායි පිල වෙනුවෙන් පන්දු 40 කින් ලකුණු 33 ක් ලබාගත් සූර්යකුමාර් යාදව් හැරුණු විට අන් කිසිම මුම්බායි පිතිකරුවකුට ලකුණු 20 සීමාව පසුකළ නොහැකි විය. දිල්ලි පිලේත් තත්ත්වය ඊට බොහෝ සෙයින් ආසන්න වී තිබිණ.

හිතුවක්කාරයකු ලෙසින් පිත්ත හසුරුවන රිෂාබ් පන්ට් ලබාගත් ලකුණු 26 හැරෙන්නට දිල්ලි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ පන්දු 33 කින් ලකුණු 33 ක් ලබාගත් ශ්‍රෙයාස් අයියර් ය.

නේදන් කූල්ටර්නයිල් සිය ඕවර 4 ලකුණු 19 කට සීමාකරගත් අතර ටේ‍රන්ට් බෝල්ට්ගේ ඕවර 4 කින් ලබාගත හැකිවූයේ ලකුණු 24 ක් පමණි. ජස්ප්‍රීට් බුම්රා (29/1) සහ ජයන්ත් යාදව් (31/1) දෙදෙනාත් සාර්ථක පන්දු යැවීමක නිරත වූ බැවින් දිල්ලි පිතිකරුවන්ගේ කාර්යය පහසු එකක් වී තිබිණ.

තරගය ජයගැනීමට නම් දිල්ලි පිල අවසන් ඕවර 5 දී ලකුණු 30 ක් ලබාගත යුතුව තිබිණ. එක පන්දුවට එක ලකුණක් බැගින් වූ නමුත් එය කියන තරම් පහසු ඉලක්කයක් නොවීය. එහෙත් 18 වැනි ඕවරයේදී ජස්ප්‍රීට් බුම්රාගෙන් ලකුණු 8 ක් උදුරාගත් ශ්‍රෙයාස් අයියර් දිල්ලි පිල වෙත එල්ල වී තිබූ පීඩනය අනෙක් පැත්තට දැම්මේය. අවසන් පන්දු කිහිපය වෙත තරගය රැගෙන යාමට නොරිසි වූ අශ්වින් හයේ පහරකින් තරගය නිමා කළේය.

අවේශ් ඛාන් ප්‍රමුඛ දිල්ලි පන්දු යවන්නන්ගේ විශිෂ්ට දස්කම් හමුවේ අසරණ වූ මුම්බායි පිතිකරුවෝ ලකුණු 129 කට සිරවූහ.

පන්දුව පිත්තට ගලාඒම බොහෝ මන්දගාමී වී තිබූ අතර පන්දුවේ ඉපිළිමද බෙහෙවින් පහළ මට්ටමක විය. මෙම තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන ගත් අවේශ් ඛාන්, සිය ඕවර 4 දී මුම්බායි පිතිකරුවන් ලකුණු 15 කට සීමාකරගත් අතර පළමු ඕවරයේදීම නායක රෝහිත් ෂර්මා ලකුණු 7 කට දවාගනිමින් මුම්බායි පිල පසුපාදයට ඇද දැම්මේය.

කාසියේ වාසිය දිනාගත් දිල්ලි කැපිටල්ස් නායක රිෂාබ් පන්ට්, පළමුවෙන් පන්දු යැවීම තෝරා ගැනීමේ නිසි ප්‍රතිඵල ලබාදුන් ඇන්රික් නොකියා (19/1) සහ අක්ෂර් පතෙල් (21/3) මුම්බායි පිතිකරුවන්ට සිතාගැනීමට යමක් ඉතිරි නොකරම ඕවර 20 අවසන් කළහ.

මේ වන විටත් තීරණාත්මක අවසන් වටය සඳහා සුදුසුකම් ලබා සිටින දිල්ලි පිලේ උත්සාහය වන්නේ ප්‍රසාද ලකුණු පුවරුවේ මුදුනටම නැග ගැනීමයි. ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණේ පසුවන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමද අවසන් වටයට සුදුසුකම් ලබා සිටී.

2021 අයි.පී.එල්. තරගාවලියේ දෙවැනි අදියරේදී මුම්බායි ඉන්දියන්ස් පිල තරග 5 කට සහභාගි වූ නමුත් ඒවායින් ජයගෙන ඇත්තේ එකක් පමණි.


මුම්බායි ඉන්දියන්ස් -  ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 129 යි
(ක්වින්ටින් ඩි’කොක් 19, සූර්යකුමාර් යාදව් 33, සෞරබ් තිවාරි 15, හර්දික් පාණ්ඩ්‍යා 17, කෘනාල් පාණ්ඩ්‍යා 13, ජයන්ත් යාදව් 11, අවේශ් ඛාන් 15/3, අක්සර් පතෙල් 21/3)

දිල්ලි කැපිටල්ස් - ඕවර 19.1 කදී කඩුලු 6 ක් දැවී 132 යි
(රිෂාබ් පන්ට් 26, ශ්‍රෙයාස් අයියර් නොදැවී 33, ෂිම්රන් හෙට්මියර් 15, රවිචන්ද්‍රන් අශ්වින් නොදැවී 20)


 

- 213

 


අදහස් (0)

ශ්‍රෙයාස් - අශ්වින් දිල්ලිය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.