Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලාංකිකයෝ 2-0 කින් ටෙස්ට් තරගාවලිය දිනති
චැටෝග්‍රෑම් ටෙස්ට් තරගය

ශ්‍රී ලාංකිකයෝ 2-0 කින් ටෙස්ට් තරගාවලිය දිනති

editorial - 2024 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේ චැටෝග්‍රෑම් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ අද (03 වැනිදා) පෙරවරුවේදී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 318 කට දවාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගයෙන් ලකුණු 192 ක දැවැන්ත ජයක් අත්පත් කරගත්හ. පළමු තරගයේදීත් ලකුණු 328 ක ජයක් අත්කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේදී 2-0 ක ජයක් අත්කරගත්තේ බංග්ලාදේශය හමුවේ පවත්වාගෙන යන අපරාජිත වාර්තාව තවදුරටත් ඉදිරියට ගෙන යමිනි. 

තරගයේ සිව්වැනි දිනය වූ අඟහරුවාදා සවස ක්‍රීඩාව නතර කරන විට කඩුලු 7 කට ලකුණු 268 ක් ලබා සිටි බංග්ලාදේශීහු අපේක්‍ෂිත ඉලක්කයට ලකුණු 243 ක් ඈතින් සිටියහ. එම ලකුණු සංඛ්‍යාව කරා යාමට අද පෙරවරුවේ  ඔවුන් සතුව තිබුණේ කඩුලු 3 ක් පමණක් වූ නමුත් අද තරගය ආරම්භ කර යැවුණු පස්වැනි ඕවරයේදීම තයිජුල් ඉස්ලාම් දවාගැනීමට කමිඳු මෙන්ඩිස් සහ නිෂාන් මධුෂ්ක සමත් වූහ. පිට ඉන්නෙන් ඉවතට ඇදී යන පන්දුවට තයිජුල් ඩ්‍රයිව් පහරක් ගැසූ නමුත් පිත්තේ කොණක වැදුණු පන්දුව ගලී කලාපයට ඇදී යද්දී දකුණු පසට පැන්න නිෂාන් මධුෂ්ක උඩ පන්දුව ඩැහැගත්තේය. 

මෙම තරගයේදී නිෂාන් මධුෂ්කගේ පන්දු රැකීම ඉහළම තලයක තිබිණ. ආරම්භක පිතිකරුවා වන නිෂාන් මධුෂ්ක ශතකයක් ලබා නොගත් නමුත් ඔහුගේ පන්දු රැකීම් හමුවේ ලකුණු 100 කට වැඩි ප්‍රමාණයක් බංග්ලාදේශ පිතිකරුවන්ට අහිමි විය. මුල් ඉනිමේදී අසිත ප්‍රනාන්දු (34/4) කළ දේම දෙවැනි ඉනිමේදී ළහිරු කුමාර (50/4) කළේය. ඉනිම අග්ගිස්සේදී පිතිකරු ලයිස්තුවේ පහළින් එන පිතිකරුවන් මවිත කරමින් පන්දු යැවූ ළහිරු කුමාර තරගාවලිය අවසන් කළේ කඩුලු 11 ක් දවාගනිමිනි. ළහිරුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය ලකුණු 12.63 ක් විය. 

බංග්ලාදේශ දෙවැනි ඉනිමේ අවසන් කඩුලු දෙකම බිඳ දැමූ ළහිරු කුමාර බදාදා දිවා ආහාරයට පෙර තරගය නිමා කළේය. බංග්ලාදේශ පිතිකරුවන්ට අද පෙරවරුවේදී ලබාගත හැකිවූයේ ලකුණු 50 කි. බංග්ලාදේශය වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූ මෙහෙදි හසන් මිරාස් නොදැවී ලකුණු 81 ක් ලබාගත් නමුත් ශතක දෙකකුත් තවත් අර්ධ ශතකයකින් මෙපිට ලකුණු 511 ක් වැනි ඉලක්කයකට සාර්ථකව මුහුණ දිය නොහැකිය.

ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා, බංග්ලාදේශීන්ට සාර්ථක සම්බන්ධතා පවත්වන්නට ඉඩ දුන්නේම නැත. 

පිතිකරුවන්ට සිතාගත නොහැකි පරිදි පන්දු යවන්නන් එහා මෙහා කරමින් සහ අසම්මත ස්ථාන වල පන්දු රකින්නන් රඳවමින් ඔහු සම්බන්ධතා කඩා දැම්මේය. ලකුණු 318 ක් වාර්තා වූ බංග්ලාදේශ ඉනිමේ හොඳම සම්බන්ධතාව වූයේ සකිබ් අල් හසන් (36) සහ ලිටන් දාස් (38) අතර පස්වැනි කඩුල්ල සඳහා පැවැති ලකුණු 61 ක සම්බන්ධතාවයි. දෙවැනි ඉනිම පුරා, බංග්ලාදේශ පිතිකරුවන් අතර සම්බන්ධතා සටහන් වූයේ 37-14-43-38-61-04-46-38-31 සහ 06 ක් ලෙසිනි.

තරගාවලියේදී බිඳ වැටුණු බංග්ලාදේශ කඩුලු 40 න් 33 ක් ම වේග පන්දු යවන්නන් සතුවිය. පළමු තරගයේදී වේග පන්දු යවන්නන් දවාගත් කඩුලු සංඛ්‍යාව 20 කි. 

අත් දෙකින්ම දඟ පන්දු යැවීමේ හැකියාව ඇතත්, මෙම ටෙස්ට් තරගයේදී කමිඳු භාවිතා කළේ සිය දකුණත පමණි. අද පෙරවරුවේ කමිඳු මෙන්ඩිස් කීවේ තමන් පන්දු යැවීමට පැමිණියේ අතිරේක පන්දු යවන්නකු ලෙසින් බවයි. 

“නායකයා කියන්නේ මම කඩුලු අතර සම්බන්ධතා බිඳ දමන්නා කියලයි” යයි කමිඳු කීවේය. එහෙත් අද දිනයේ ඔහු ඉදිරිපෙළ දඟ පන්දු යවන්නකුගේ කාර්යභාරය අඩු නැතිවම ඉෂ්ඨ කළේය. ලකුණු 32 කට කඩුලු 3 ක් දවාගත් කමිඳු මෙන්ඩිස්, මුල් ඉනිමේදී නොදැවී ලබාගත් විශිෂ්ට ලකුණු 92 ක් හේතුවෙන් තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේය. පළමු ටෙස්ට් තරගයේ ඉනිම දෙකේදීම ශතක ලබාගත් කමිඳු තරගාවලියේ වීරයා සම්මානයත් අත්පත් කරගත්තේය. 

විස්සයි-20 තරගාලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියේදී 2-1 ක් ලෙසින් පරාජය විය. ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙසින් ජයගත්තේය. 

 

 


අදහස් (0)

ශ්‍රී ලාංකිකයෝ 2-0 කින් ටෙස්ට් තරගාවලිය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.