Last Update  :  2024-04-30 15:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලාංකිකයන්ගේ නමට තවත් ලෝක වාර්තාවක්
චැටෝග්‍රෑම් ටෙස්ට් තරගය

ශ්‍රී ලාංකිකයන්ගේ නමට තවත් ලෝක වාර්තාවක්

editorial - 2024 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම - දමින්ද විජේසූරිය)

තණතීරුවේ ස්වභාවය හොඳින්ම වටහාගෙන සිටි ශ්‍රී ලංකා පිතිකරුවෝ, චැටෝග්‍රෑම් නුවරදී  පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (31 වැනිදා) සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 531 ක් ලබාගත්හ. වසර 146 ක ටෙස්ට් ඉතිහාසයේදී ශතකයකින් සමන්විත නොවන ඉනිමකදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේත් මෙම ලකුණු 531 යි. 

එහි පැරණි වාර්තාව, 1976 දී නවසීලන්ත පිලට එරෙහිව කාන්පූර් නුවරදී කඩුලු 9 කට ලකුණු 524 ක් ලබාගත් ඉන්දීය කණ්ඩායම සතුව තිබිණ. 

ශ්‍රී ලංකාවේ ලකුණු 531 ට පිළිතුරු ලෙසින් බංග්ලාදේශ කණ්ඩායම අද සවස ක්‍රීඩාව නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 55 ක් ලබා සිටියේය. බංග්ලාදේශය ශ්‍රී ලංකාවට වඩා ලකුණ 476 ක් පසුපසින් සිටී. 

ශ්‍රී ලංකා ඉනිම නිමා වන විට කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 92 ක් ලබා සිටියේය. පිට පිටම ලබාගත හැකිව තිබූ තුන්වැනි ටෙස්ට් ශතකය කමිඳුට අහිමි වූයේ අවසන් පිතිකරුවා වූ අසිත ප්‍රනාන්දු පන්දු යවන්නාගේ අන්තයේ සිට දුවද්දී දැවී ගිය බැවිනි. කමිඳු ගැසූ ස්ටේ්‍රට් ඩ්‍රයිව් පහරකින් පන්දුව අහුලාගත් පන්දු යැවූ තයිජුල් ඉස්ලාම් එය කඩුල්ලට දමාගැසීම නිසා අසිත ප්‍රනාන්දු දැවී ගියේය. මෙම තරගාවලියේ ඉනිම තුනකදී කමිඳු මෙන්ඩිස් ලබාගත් ලකුණු සංඛ්‍යාව 358 කි. අංක 7 පිතිකරුවා වශයෙන් පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස් මෙම තරගාවලියේදී ලකුණු ලබාගත් අකාරය සටහන් වන්නේ 102, 164 සහ නොදැවී 92 ක් ලෙසිනි. 

කඩුලු 4 කට ලකුණු 314 ක් ලබා සිටියදී අද පෙරවරුවේ පිතිහරඹය ආරම්භ කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 500 කඩඉම පැනීම අරමුණ කරගනිමින් පන්දුවට පහර දුන් අතර සාර්ථකව තම ඉලක්කය කරාත් අවතීර්ණ වූහ. 
දුඹුරු පැහැය වැඩි තණතීරුවේ පන්දුව දඟ කැවීම දැනටමත් පෙනෙන්නට තිබෙන අතර ශ්‍රී ලංකා ඉනිමේ බිඳ වැටුණු කඩුලු 10 න් 3 ක් දුවද්දී දැවී යාම් විය. අනෙක් කඩුලු 7 න් කඩුලු 4 කම හිමිකරුවන් වී ඇත්තේ දඟ පන්දු යවන්නන්ය.

ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනා එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 61 ක් එක්කළහ. ලකුණු 70 ක් ලබාගත් ධනංජය සිල්වා දැවී යන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 400 සීමාව පසුකර තිබිණ. 

පළමු ටෙස්ට් තරගයේදී ශතක දෙකක් ලබාගත් කමිඳු මෙන්ඩිස්ගේ කාර්යය වූයේ ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව හැකි තරම් ඉහළ දැමීමයි. ඒ වගකීම කරට ගත් වමත් පිතිකරුවා, ප්‍රභාත් ජයසූරිය සමගින් එක්ව තේ පානයට පෙර ලකුණු සංඛ්‍යාව 476 ක් දක්වා ඉහළ දැම්මේය. පසුව අවසන් පිතිකරුවන් කිහිප දෙනා සමගින් එක්ව ලකුණු සංඛ්‍යාව 500 කඩඉමෙන් ඔබ්බට ගෙන ගියද සිය ශතකය ලබාගැනීමට තරම් කමිඳු වාසනාවන්ත නොවූයේ පන්දු යවන්නාගේ අන්තයේ සිටි අසිත ප්‍රනාන්දු දුවද්දී දැවී ගිය බැවිනි. ලබාගත්තා නම් එය පිට පිටම ටෙස්ට් ඉනිම තුනකදී ලබාගත් තුන්වැනි ශතකය වන්නට තිබිණ.  


අදහස් (0)

ශ්‍රී ලාංකිකයන්ගේ නමට තවත් ලෝක වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.