Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකාවට ලකුණු 27 ක ජයක්
යොවුන් එක්දින තරගාවලිය

ශ්‍රී ලංකාවට ලකුණු 27 ක ජයක්

editorial - 2025 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය) 

තරගාවලිය පරාජය වීමේ අවදානමට මුහුණ දී සිටියදී විශිෂ්ට පන්දු යැවීමක යෙදුණු ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව, කොළඹ එස්.එස්.සී. පිටියේදී අද (5 වැනිදා) පැවැති පස්වැනි එක්දින තරගයෙන් ලකුණු 27 ක ජයක් අත්කර ගත්හ. 

අවසන් කඩුලු හතරම පන්දු 16 ක් ඇතුළතදී බිම දැමූ කවීජ ගමගේ සහ කුගදාස් මාතුලන් ලකුණු 196 සාර්ථකව ආරක්‍ෂා කරගනිමින් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම ලකුණු 169 කට සීමා කළහ. 

ශ්‍රී ලංකා ලංකා යොවුන් පිල තරගය ජයගනීමත් සමග තරගාවලියේ තත්ත්වය 3-2 ක් ලෙසින් වෙනස් වී ඇතත් බංග්ලාදේශ යොවුන් පිල තවමත් ඉදිරියෙන් සිටී. 
 
ශ්‍රී ලංකා ඉදිරිපෙළ පන්දු යවන්නෝ ආරම්භයේදීම බංග්ලාදේශ පිතිකරුවන් අමාරුවේ දැමූහ. ඕවර 16 ක් ඇතුළත ලකුණු 51 කට කඩුලු 4 ක් බිඳ වැටුණු අතර 30 වැනි ඕවරය නිමා වන විට බංග්ලාදේශ යොවුන් පිල කඩුලු 5 කට ලබා සිටියේ ලකුණු 99 කි. එතැන් සිට තරගය ජයගැනීමට ඕවර 20 කින් ලකුණු 98 ක් අවශ්‍යව තිබුණත් ඊළඟ ඕවර තුන සටහන් වූයේ ලකුණු 4ක් 2ක් සහ 0 ක් ලෙසිනි. එහෙත් ඊළඟ ඕවර දෙකින් ලකුණු 15 ක් ලබාගත් බංග්ලාදේශීහු නැවතත් තරගයට අවතීර්ණ වූහ. 

ෆරීඩ් හසන් සහ සමිඋන් බෂීර් එක්ව ලකුණු සංඛ්‍යාව 156 දක්වා ඇදගෙන ගියද, කවීජ ගමගේ විසින් බෂීර් දවාගැනීමත් සමග තරගය ශ්‍රී ලංකා පිල වෙත නැඹුරු විය. පන්දු 15 ක් ඇතුළත ඉතිරි කඩුලු තුනම බිඳ වැටිණ. 

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලබාගත්තේ ලකුණු 196 ක් පමණි. සත්කාරකයන්ගේ 9 වැනි කඩුල්ලත් ලකුණු 164 දී බිඳ වැටුණ නමුත් ඇඩම් හිල්මි සහ කුගදාස් මාතුලන් එක්ව අවසන් කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 32 ක සම්බන්ධතාව නිසා ලකුණු 200 ට ආසන්න වීමට ශ්‍රී ලංකා යොවුන් පිලට හැකිවිය. 

නායක විමත් දින්සර (42) සහ කඩුලු රකින්නා වන ඇඩම් හිල්මි (51) දෙදෙනා පමණක් යම් තරමකට සාර්ථක වූ නමුත් ශ්‍රී ලංකා යොවුන් පිලේ සෙසු සියලුම පිතිකරුවෝ අසාර්ථක වූහ. විමත් දින්සර ලබාගත් ලකුණු 42 ට හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර ඉතිරි ලකුණු 22 න් 20 ක්ම තනි ලකුණු විය. 

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. එහෙත් එස්.එස්.සී. පිටියේ උදෑසන පවතින තත්ත්වය මැනවින් ප්‍රයෝජනයට ගත් වේග පන්දු යවන්නන් වන රිසාන් හොසේන් සහ සාද් ඉස්ලාම් දෙදෙනා ලකුණු 69 ක් ඇතුළත ආරම්භක පිතිකරුවන් දෙදෙනාත්, අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරන චාමික හීනැටිගලත් ආපසු ක්‍රීඩාගාරයට යැවූහ. 

මුලු ලකුණු සංඛ්‍යාව 151 ක්ව තිබියදී නායක විමත් දින්සර දැවී යන විටත් ලකුණු වේගය 5.00 ආසන්නයේ පැවතිණ. එහෙත් නායකයාගේ දැවී යාමෙන් පසුව සෙසු පිතිකරුවන් එකා පසුපස එකා දැවී ගිය අතර විශ්වාසය තැබිය හැකි පිතිකරුවකුට ඉතිරි වූයේ කඩුලු රකින්නා වූ ඇඩම් හිල්මි පමණි. 

ශ්‍රී ලංකා යොවුන් පිලට කරගත නොහැකි වූයේ කඩුලු අතර දිගු සම්බන්ධතා ගොඩනඟා ගැනීමයි. පිතිකරුවන් පිටියේ රැඳී සිටින පළමු කඩුලු 6 බිඳ වැටීමට පෙර, ශ්‍රී ලංකා යොවුන් පිලේ කඩුලු අතර සම්බන්ධතා වාර්තා වූයේ 35, 16, 18, 30, 14 සහ 38 ක් ලෙසිනි. 

ඇඩම් හිල්මි ශ්‍රී ලංකා හිස්වැස්ම ඇඳ ක්‍රීඩා කළ පළමු තරගය මෙයයි. කුගදාස් මාතුලන් සමගින් එක්ව අවසන් කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 32 ක සම්බන්ධතාවෙන් ඇඩම් හිල්මිගේ දායකත්වය ලකුණු 27 කි. මුහුණ දුන් පන්දු 59 න් පන්දු 37 ක්ම නිලකුණු පන්දු වූවත්, ඉතිරි පන්දු වලින් 6 ක් හතරේ සීමාවෙන් එපිටටත්, තවත් එකක් ඊට ඉහලිනුත් යැවූ ඇඩම් හිල්මි දැවී ගියේ අවසන් පිතිකරුවා ලෙසිනි. 


ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම - ඕවර 42.3 කදී සියලු දෙනා දැවී 196 යි
(විරාන් චමුදිත 14, සුහස් ප්‍රනාන්දු 28, කිත්ම විදානපතිරණ 28, විමත් දින්සර 42, ඇඩම් හිල්මි 51, සාද් ඉස්ලාම් 29/2, රිසාන් හොසේන් 30/2, සමිඋන් බසීර් 35/3, ෆර්හාන් ශාරියාර් 05/2)

බංග්ලාදේශ යොවුන් කණ්ඩායම - ඕවර 45 කදී 169 යි
(රිසාන් හොසේන් 25, මොහොමඩ් අබ්දුල්ලා 32, දෙබසිස් දේබා 24, ෆරීඩ් හසන් නොදැවී 30, සමිඋන් බෂීර් 37, තරූෂ නවෝද්‍ය 30/2, විරාන් චමුදිත 26/3, කුගදාස් මාතුලන් 26/3)


අදහස් (0)

ශ්‍රී ලංකාවට ලකුණු 27 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.