Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයට

ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයට

රොෂාන් ගුණරත්න - 2019 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 2020 දී දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයට ඇතුළත් වී තිබේ. ඉන්දියාව, නවසීලන්තය සහ ජපානය ‘ඒ’ කාණ්ඩයෙන් තරග කරන සෙසු කණ්ඩායම් වෙයි. තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක දකුණු අප්‍රිකාව සහ ඇෆ්ඝනිස්තානය අතර තරගය කිම්බර්ලිහී ඩයමන්ඞ් ඕවල් ක්‍රීඩාංගණයේදී 2020 ජනවාරී 17 වැනිදා තරග වැදීමට නියමිතව ඇත.

ලබන වසරේ පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී රටවල් 16 ක් කාණ්ඩ 4 ක් යටතේ තරග වැදීමට නියමිතව ඇත. මෙවර තරගාවලියේ සත්කාරකත්වය දකුණු අප්‍රිකාවට හිමිවී ඇති අතර ජනවාරී 17 වැනිදා සිට පෙබරවාරී 9 වැනිදා දක්වා නගර 4 ක ක්‍රීඩාංගණ 8 කදී දින 24 ක් පුරා තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා ඇත. පෙබරවාරී 10 වැනිදා අතිරේක දිනයක් ලෙස නම්කර තිබේ.

මූලික වටය අවසානයේදී ඒ ඒ කාණ්ඩයන්හී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් 2 සුපර් ලීග් වටයටත් අනෙක් කණ්ඩායම් 2 පළඟ ශූරතාවයටත් සුදුසුකම් ලබාගනු ඇත.

ඉන්දියාව සමගින් ජනවාරී 19 වැනිදා තරගාවලියේ පළමු තරගයට සහභාගීවන ශ්‍රී ලංකාව, ජනවාරී 22 වැනිදා නවසීලන්තය සමගින්ද, ජනවාරී 25 වැනිදා ජපානය සමගින්ද තරග වැදීමට නියමිතව ඇත.

අවසන් වරට නවසීලන්තයේදී පැවැති වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කළ ඉහළ කණ්ඩායම් 11 සහ කලාපීය ශූරයින් වන නයිජීරියාව (අප්‍රිකාව), ජපානය (නැගෙනහිර ආසියා පැසිෆික්), කැනඩාව (ඇමෙරිකා එක්සත් ජනපදය), එක්සත් අරාබී එමීර් රාජ්‍යය (ආසියා) සහ ස්කොට්ලන්තය (යුරෝපය) මෙවර තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට සමත්ව සිටිති. අන්තර්ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන මෙම වයස 19 න් පහළ ගෝලීය තරගාවලියකට ජපානය සහ නයිජිරීයාව පළමු වරට එක්වන්නේය.

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හී පෙරමුණේ පසුවන ස්ටීවන් ස්මිත්, එක්දින සහ විස්සයි20 ශ්‍රේණිගත කිරීම්හී පෙරමුණේ පසුවන විරාට් කෝලී, එංලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායක ජෝ රූට් සහ නවසීලන්ත නායක කේන් විලියම්සන් වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි නියෝජනය කරමින් ඉහළට පැමිණි ක්‍රීඩකයෝ වෙති. දකුණු අප්‍රිකාවේ ග්‍රේම් ස්මිත්, හෂීම් අම්ලා, ඩීන් එල්ගා, වේන් පානෙල්, ක්වින්ටන් ඞ්‘කොක් සහ කගිසෝ රබාඩා වැනි ක්‍රීඩකයින් අන්තර්ජාතික ක්‍රීඩාවේ ඉහළ ස්ථානයක පසුවන අතර ඔවුන් මුල් වරට ඇස ගැටුණේ වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියන්හිදීය.

ඉන්දියාව සිවුවතාවක්ද, ඕස්ටේ්‍රලියාව තෙවරක්, පාකිස්තානය දෙවරක්ද, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් එක්වරක් බැගින් වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට සමත්වී ඇත.

පොචෙස්ට්රූම්හී ජේ.බී.මාර්ක් ඕවල් ක්‍රීඩාංගණයේදී සුපර් ලීග් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග 2 ක් ද, අවසන් පූර්ව තරග 2 සහ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත.

පුහුණු තරග ජනවාරී 12 වැනිදා සිට 15 වැනිදා දක්වා ජොහැන්නස්බර්ග් සහ ප්‍රිටෝරියා හිදි පැවැත්වේ.

 

කාණ්ඩ සහ ඒ ඒ කාණ්ඩ වලට අයත් රටවල්

‘ඒ’ කාණ්ඩය - ශ්‍රී ලංකාව, ඉන්දියාව, නවසීලන්තය, ජපානය
‘බී කාණ්ඩය - ඕස්ට්‍රේලියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, නයිජිරීයාව
‘සී’ කාණ්ඩය - පාකිස්තානය, බංග්ලාදේශය, සිම්බාබ්වේ, ස්කොට්ලන්තය
‘ඩී’ කාණ්ඩය - ඇෆ්ඝනිස්තානය, දකුණු අප්‍රිකාව, එක්සත් අරාබී එමීර් රාජ්‍යය, කැනඩාව

 


අදහස් (0)

ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.