Last Update  :  2024-04-30 19:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකාව ලකුණු 455 ක් ඉදිරියෙන්
චැටෝග්‍රෑම් ටෙස්ට් තරගය

ශ්‍රී ලංකාව ලකුණු 455 ක් ඉදිරියෙන්

editorial - 2024 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තම වගකීම අකුරටම ඉටුකළ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ තිදෙනා, චැටෝග්‍රෑම් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද (1 වැනිදා), තම තමන් අතරේ කඩුලු 8 ක් බෙදා ගනිමින් බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 178 කට සීමා කළහ. මුල් ඉනිමේදී ලකුණු 353 ක වාසියක් තිබුණ නමුත් පන්දු යවන්නන්ට විවේකයක් ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකා පිතිකරුවෝ දෙවැනි ඉනිම සඳහාත් පිති අතට ගත්හ. 

කෙසේ වුවත් පළමු ඉනිමේදී දැක්වූ දස්කම් දෙවැනි ඉනිමේදී ප්‍රදර්ශනය කිරීමට අපොහොසත් වූ ශ්‍රී ලංකා පිතිකරුවන් 5 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් ආපසු ගොස් ක්‍රීඩාගාරයේ අසුන් ගත්හ. බංග්ලාදේශ ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා වූ හසන් මහමුද් සහ කලීල් අහමඞ් පිළිවෙලින් කඩුලු 4 ක් සහ 2 ක් බිඳහෙළමින් තෙවැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකා පිලේ ලකුණු පුවරුව ලකුණු 106 කට කඩුලු 6 ක් බවට පත් කළේය. 

නිෂාන් මධුෂ්ක හතරේ පහර 5 ක් සමග ලකුණු 34 ක් රැස්කරමින් දෙවැනි ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාගත්තද, හසන් මහමුද්ගේ ගොදුරක් බවට පත් වෙමින් ඔහු පිටියෙන් ඉවත්ව ගියේ දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් දැවී යෑමෙන් පසුවය. තෙවැනි දිනය නිමාවන විට ඇන්ජලෝ මැතිව්ස් හතරේ පහර 3 ක් සමග ලකුණු 39 ක් ලබා කඩුල්ලේ රැදී සිටි අතර ශ්‍රී ලංකාව තවත් කඩුලු 4 ක් අතැතිව බංග්ලාදේශයට වඩා ලකුණු 455 ක් ඉදිරියෙන් සිටියේය. 

දෙවැනි දිනය වූ ඊයේ (31 වැනිදා) සවස තරගය නතර කරන වන විට බංග්ලාදේශ කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 55 ක් ලබා සිටියේය. සකීර් හසන් (54) සහ තයිජුල් ඉස්ලාම් (22) දෙදෙනා අද පෙරවරුවේදී මුලු ලකුණු සංඛ්‍යාව 96 දක්වා තල්ලු කරගෙන ගියේ බංග්ලාදේශයේ බලාපොරොත්තු දල්වාලමිනි. අංක 3 ස්ථානයෙන් පිටියට පිවිසි නමුත් තයිජුල් ඉස්ලාම් ඊයේ සවස පැමිණි මුරකරු පිතිකරුවා විය. එහෙත් බංග්ලාදේශය වෙනුවෙන් පැවැති හොඳම කඩුලු අතර සම්බන්ධතාවත් සකීර් හසන් සහ තයිජුල් ඉස්ලාම් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු 49 ක සම්බන්ධතාව විය. 

සකීර් හසන් දැවී යාමෙන් පසුව කෙටි කාල ප්‍රාන්තර අතරේ කඩුලු එකින් එක බිඳ වැටෙන්නට විය. බංග්ලාදේශ මුල් ඉනිමට වැදුණු තදබලම පහර වූයේ පන්දු 23 ක් ඇතුළත, ලකුණු 9 කට පිතිකරුවන් තිදෙනකු දැවී යාමයි. විශ්ව ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය දෙදෙනා එක්ව බංග්ලාදේශ ඉනිම ඉරිතලා දැමූහ. නායක නජ්මුල් හොසේන් ශන්තෝත් දැවී ගිය පිතිකරුවන් අතර විය. 

විශ්ව සහ අසිත ප්‍රනාන්දුලා දෙදෙනාත්, ළහිරු කුමාරගේ විශිෂ්ට පන්දු යැවීමත් නිසා උදෑසන සිටම සතුටු වෙන්නට තරම් අවස්ථාවක් බංග්ලාදේශ ක්‍රීඩාලෝලීන්ට නොවීය. 33 වැනි ඕවරයේදී ආරම්භ වූ කඩුලු වැටීම සටහන් වූයේ 96, 101, 105, 126, 130, 148, 165, 175 සහ 178 ක් ලෙසිනි. තවත් ආකාරයකින් කිවහොත්, ඕවර 35.5 ක් ඇතුළත, ලකුණු 82 කට කඩුලු 9 ක් බිඳ වැටිණ. මේ තත්ත්වය, පළමු ඉනිමේදී ලකුණු 531 ක් ලබාගත් තණතීරුවකදීය. ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ගේ තර්ජනය කෙතරම්ද යන්න එයින්ම වටහාගත හැකිය. 

කසුන් රාජිතගේ පිටකොන්දේ ආබාධයක් නිසා මෙම තරගයට එක්වූ අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම සිටිමින් ලකුණු 34 කට කඩුලු 4 ක් දවාගත්තේ බංග්ලාදේශ පිතිකරුවන් හමුවේ තමන්ට ඇති ආධිපත්‍යය නැවත වරක් තහවුරු කරමිනි. අසිතගේ හොඳම ටෙස්ට් පන්දු යැවීම සටහන් වන්නේත් බංග්ලාදේශයට එරෙහිව වන අතර ඒ 2022 දී මීර්පූර් නුවරදී ලකුණු 51 කට කඩුලු 6 ක් දවාගැනීමයි. 

 

- 213


අදහස් (0)

ශ්‍රී ලංකාව ලකුණු 455 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.