Last Update  :  2024-05-09 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකාව දරුණුම ලෝක කුසලාන පරාජය ලබයි
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

ශ්‍රී ලංකාව දරුණුම ලෝක කුසලාන පරාජය ලබයි

editorial - 2023 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

 

(ශානුක අරවින්ද මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේ සිට..)

මෙවර ආසියානු කුසලාන අවසන් මහ තරගයේ අමිහිරි මතකය ශ්‍රී ලංකාවට යළිත් සිහිපත් කළ ඉන්දියානුවෝ, මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී අද (2 වැනිදා) පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ලකුණු 302 ක දැවැන්ත ජයක් ලබමින් කල්තියාම තරගාවලියේ අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කරවා ගත්හ. එය එක්දින ලෝක කුසලාන තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ලැබූ දරුණුම පරාජය ලෙසද වාර්තා අතරටද එක් විය.

මෙම තරගයේදී ලැබූ ලජ්ජා සහගත පරාජය හේතුවෙන් ශ්‍රී ලංකාවට තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ඇති අවස්ථාව කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නාක් මෙන් තත්වයකට පත්විය. ඒ සඳහා ඔවුන්ට ඉතිරිව ඇති තරග දෙකම ඉතා ඉහළ ශුද්ධ ලකුණු වේගයක් රඳවාගනිමින් ජයගැනීම පමණක් ප්‍රමාණවත් නොවන අතර සෙසු කණ්ඩායම් තරග දිනන පරදින ආකාරය දෙස පසෙකට වී බලා සිටීමටද සිදුවනු ඇත.

ජයග්‍රහණය සඳහා ලකුණු 358 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 19.4 ක් අවසානයේ ලකුණු 55 කට සීමාකිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූ අතර එය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමක් දැවී ගිය තෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව සම කිරීමක් ලෙසද සටහන් විය. මින් පෙර ශ්‍රී ලංකා කණ්ඩායමක් ලකුණු 55 කට දැවී ගොස් තිබුණේ මින් වසර 37 කට පෙර එනම් 1986 වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේය.

එක්දින ලෝක කුසලාන තරගයකදී ශ්‍රී ලංකාව ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව මෙය වූ අතර එය ඕනෑම කණ්ඩායමක් එක්දින ලෝක කුසලාන තරගයකදී ලබාගත් සිවුවැනි අඩුම ලකුණු සංඛ්‍යාව බවටද පත් විය. එහිදී ශ්‍රී ලංකාව ලැබූ පරාජය ලකුණු පරතරය අතින් ගත්කල එක්දින ක්‍රිකට් ඉතිහායේ සිවුවැනි දැවැන්තම පරාජය මෙන්ම එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ දෙවැනි දැවැන්තම පරාජයද විය. 1975 වසරේදී පාකිස්තානය හමුවේ ලැබූ ලකුණු 192 ක පරාජය, ශ්‍රී ලංකාව එක්දින ලෝක කුසලාන තරගයකදී ‍මින් පෙර ලබා තිබූ දරුණුම පරාජය විය.

ලකුණු 29 කට කඩුලු 8 ක් බිඳවැටී තිබූ ශ්‍රී ලංකා ඉනිමේ 9 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 20 ක් එක්කළ මහීෂ් තීක්ෂණ (නොදැවී 12) සහ කසුන් රාජිත (14) සිය කණ්ඩායම එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවීගිය කණ්ඩායම බවට පත්වීමට තිබූ අවදානමින් මුදවාගත්හ. ඔවුන් දෙදෙනා හැරුණු කොට ලකුණු 10 සීමාව පසුකර යෑමට සමත් වූ එකම ශ්‍රී ලංකා පිතිකරුවා වූයේ ඇන්ජලෝ මැත්ව්ස් (12) ය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු පන්දුවේදීම පැතුම් නිස්සංක කඩුල්ල මුවාකිරීමට හසුකරගත් ජස්ප්‍රීට් බුම්රා ඉන්දියාවට සාර්ථක ආරම්භයක් ලබාදුන් අතර ඔහුගේ අඩි පාරේම ගිය මොහොමඩ් සිරාජ්, ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 4 ක් එක්වන විට ‍සෙසු මුල් පෙළ පිතිකරුවන් තිදෙනාද ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් විය. ඉන් අනතුරුව දුම්මල වරම අතට ගත් යකැදුරකු මෙන් අවේස වූ මොහොමඩ් සාමි, ශ්‍රී ලංකා පිතිකරුවන් එකා පිට එකා පිටියෙන් ඉවත් කරමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 357 ක් ලබාගත්තේය. එහිදී සිය එක්දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ප්‍රදර්ශනය කළ ඩිල්ෂාන් මධුෂංක, ලකුණු 80 කට කඩුලු 5 ක් බිඳහෙළමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවටද පත්විය. මේ දක්වා තරග 7 කදී ඔහු බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 18 කි.

ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ශ්‍රෙයාස් අයියර් පන්දු 56 කදී දැවැන්ත හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 ක් සමග වේගවත් ලකුණු 82 ක් රැස්කරමින් ඉන්දියාවට ලකුණු 350 සීමාවෙන් ඔබ්බට යෑම සඳහා දායකත්වය දැක්වීය. 48 වැනි ඕවරයේ මුල් පන්දු දෙකට පිට පිටම හයේ පහර දෙකක් එල්ල කිරීමෙන් අනතුරුව ඔහු දැවී ගියේ මධුෂංකගේ 5 වැනි ගොදුර බවට පත්වෙමිනි.

මුලු ලකුණු සංඛ්‍යාව 4 ක්ව තිබියදී පළමු කඩුල්ල බිඳවැටුණද, ශුබ්මන් ගිල් (92) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 179 කදී ලකුණු 189 ක අගනා සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීමට විරාට් කෝලි (88) සමත් විය. එම සම්බන්ධතාව නිමාවට පත්වූයේ මධුෂංකගේ පන්දුවක් හමුවේ ‍කුසල් මෙන්ඩිස් අත‍ට උඩ පන්දුවක් දෙමින් ගිල් දැවී යෑම හේතුවෙනි.

ලකුණු 9 ක් ලබා සිටියදී මධුෂංකගේ පන්දුවක් හමුවේ ගිල් ලබාදුන් අසීරු උඩ පන්දුවක් චරිත් අසලංක අතින් ගිළිහී ගිය අතර එම අවස්ථාවෙන් නිසි ඵල නෙළාගත් ඔහු, පන්දු 55 කදී හතරේ පහර 8 ක් සමග සිය 11 වැනි එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කළේය. ශතකය පෙනි පෙනී දැවී යන විට පන්දු 92 කට මුහුණදී සිටි ගිල්, හයේ පහර 2 කින් සහ හතරේ පහර 11 කින් සිය ඉනිම සරසා තිබිණ.

පන්දු 94 කට මුහුණ දෙමින් හතරේ පහර 11 ක් සමග ලකුණු රැස්කළ කෝලි දැවී ගියේ මධුෂංකගේ පන්දුවක් හමුවේ පැතුම් නිස්සංක අත‍ට උඩපන්දුවක් දෙමිනි. ලකුණු 10 ක් ලබා සිටියදී දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ කෝලි ලබාදුන් උඩ පන්දුවක් චමීර අතින්ම ගිළිහී යෑමෙන් ඔහුට අර්ධ ශතකයක් කරා යෑමට අවස්ථාව උදා විය. මෙම ඉනිමත් සමග මෙම වසර (2023) තුළ එක්දින ලකුණු 1000 සීමාව පසුකර යෑමටද කෝලිට ‍හැකි විය.

දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ ලෝකේෂ් රාහුල් ලකුණු 21 කට දැවී යෑමත් සමග ඔහු සහ ශ්‍රෙයාස් අයියර් අතර ඉන්දීය ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47 ක් තුළ ගොඩනැගී තිබූ සම්බන්ධතාව ලකුණු 60 කට සීමා විය. ඉන් අනතුරුව පිටියට පිවිසි සූර්යකුමාර් යාදව්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩක් නොදුන් මධුෂංක, බවුන්සර් පන්දුවකින් ඔහුගේ ඉනිම නිමාවට පත් කළේය.

තරගයේ පළමු පන්දුවටම හතරේ පහරක් එල්ල කළ නායක රෝහිත් ශර්මා දෙවැනි පන්දුවේදී ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට මධුෂංක සමත් වූයේ පිටතට දෝලනය කළ පන්දුවකින් ඔහුගේ කඩුල්ල බිඳදමමිනි. මේ දක්වා එක්දින තරග 13 කට ක්‍රීඩා කර ඇති මධුෂංක, එම තරගවල තමා යැවූ පළමු ඕවරයේදීම කඩුල්ලක් දවාගත් 5 වැනි අවස්ථාව මෙය විය.

ශ්‍රී ලංකාව සහභාගි වූ මුල් තරග 6 ටම ක්‍රීඩා කළ ධනංජය ද සිල්වාට මෙම තරගයේදී කණ්ඩායමේ ස්ථානයක් අහිමි වූ අතර ඔහුගේ ස්ථානය සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත කණ්ඩායමට කැඳවා සිටියේය. ඉන්දීය කණ්ඩායම මෙම තරගයට ක්‍රීඩා සහභාගි වූයේ කිසිදු වෙනස්කමක් සිදු නොකරමිනි.

 

ඉන්දියාව
රෝහිත් ශර්මා - ‍ප.මධුෂංක                               4
ශුබ්මන් ගිල් - ඇ.මෙන්ඩිස් ප.මධුෂංක             92
විරාට් කෝලි - ඇ.නිස්සංක ප.මධුෂංක             88
ශ්‍රෙයාස් අයියර් ‍- ඇ.තීක්ෂණ ප.මධුෂංක          82
ලොකේෂ් රාහුල් - ඇ.හේමන්ත ප.චමීර           21
සූර්යකුමාර් යාදව් - ඇ.මෙන්ඩිස් ප.මධුෂංක      12
රවින්ද්‍ර ජදේජා - දුවද්දී දැවී ගියා (සධීර)           35
මොහොමඩ් ශාමි ‍- දුවද්දී දැවී ගියා (මෙන්ඩිස්)   2
ජස්ප්‍රීට් බුම්රා - නොදැවී                                    1
අතිරේක                                                        20
එකතුව ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී              357

පන්දුවට පහර‍ නොදුන් ක්‍රීඩකයෝ :
කුල්දීප් යාදව් සහ මොහොමඩ් සිරාජ්  

කඩුලු වැටීම :
1-04(ශර්මා), 2-193(ගිල්), 3-196(කෝලි), 4-256(රාහුල්), 5-276(යාදව්), 6-333(අයියර්), 7-355(‍ජදේජා) 8-357(ජදේජා)

පන්දු යැවීම :
ඩිල්ෂාන් මධුෂංක 10-0-80-5, දුෂ්මන්ත චමීර 10-2-71-1, කසුන් රාජිත 9-0-66-0, ඇන්ජලෝ මැතිව්ස් 3-0-11-0, මහීෂ් තීක්ෂණ 10-0-67-0, දුෂාන් හේමන්ත 8-0-52-0


ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංක ‍- ක.මු. කළා. ප.බුම්රා               0
දිමුත් කරුණාරත්න - ක.මු. කළා. ප.සිරාජ්         0
කුසල් මෙන්ඩිස් - ප. සිරාජ්                               1
සදීර සමරවික්‍රම - ඇ.අයියර් ප.සිරාජ්                  0
චරිත් අසලංක - ඇ.ජදේජා ප.සාමි                     1
ඇන්ජලෝ මැතිව්ස් - ප.සාමි                           12
දුෂාන් හේමන්ත - ඇ.රාහුල් ප.සාමි                    0
දුෂ්මන්ත චමීර - ඇ.රාහුල් ප.සාමි                      0
මහීෂ් තීක්ෂණ - නොදැවී                                 12
කසුන් රාජිත - ඇ.ගිල් ප.සාමි                          14
ඩිල්ෂාන් මධුෂංක - ඇ.අයියර් ප.ජදේජා             5
අතිරේක                                                        10
එකතුව ඕවර 19.4 කදී සියලු දෙනා දැවී           55

කඩුලු වැටීම :
1-00(නිස්සංක), 2-02(කරුණාරත්න), 3-02(සමරවික්‍රම), 4-03(මෙන්ඩිස්), 5-14(අසලංක), 6-14(හේමන්ත), 7-22(චමීර), 8-29(මැතිව්ස්), 9-49(රාජිත), 10-55(මධුෂංක)

පන්දු යැවීම :
ජස්ප්‍රීට් බුම්රා 5-1-08-1, මො‍හොමඩ් සිරාජ් 7-2-16-3, මොහොමඩ් සාමි  5-1-18-5, කුල්දීප් යාදව් 2-0-03-0, රවින්ද්‍ර ජදේජා 0.4-0-04-1

තරගයේ වීරයා - මොහොමඩ් සාමි


අදහස් (3)

ශ්‍රී ලංකාව දරුණුම ලෝක කුසලාන පරාජය ලබයි
  • A sad cricket fan Saturday, 04 November 2023 07:30 AM

    එස්.එල්.සී. එකට වගකීමක් තියෙනවා මේවා ගැන හොයලා වැඩ කරන්න. ක්‍රිකට් වල විනාශයට වගකියන්න ඕනෑ. විධායක කමිටුවත් මෙයින් ඉවත්විය යුතුයි.

    Reply 0       0

    A Deeply Upset Cricket Fan Saturday, 04 November 2023 07:47 AM

    ශ්‍රී ලංකාව තරග 09ක් සෙල්ලම් කළා. පුහුණු තරග 02ත් සමග පසුගිය සති 04 තුළ... 07ක් පරාද වුණා. මේවාට වගකිව යුතු විධායක නිලධාරි මණ්ඩලය වහාම ඉල්ලා අස්විය යුතුයි...!

    Reply 0       0

    SLC Supporter Saturday, 04 November 2023 08:03 AM

    මේක තමයි ශ්‍රී ලංකා ක්‍රිකට්වල කඩා වැටීම. පිතිකරුවන් ලකුණු 10කට වඩා ගත්තේ නැහැ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කඩාවැටීමට SLC වගකිව යුතුයි. ක්‍රීඩා ඇමැතිවරයා විසින් මොවුන් ඉවත් කළ යුතුයි. ඔහුට එසේ කළ නොහැකි වුවහොත් ඔහු ඉල්ලා අස්විය යුතුයි..

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.