Last Update  :  2024-04-30 15:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකාව ජය පෙනෙන මානයේ
චැටෝග්‍රෑම් ටෙස්ට් තරගය

ශ්‍රී ලංකාව ජය පෙනෙන මානයේ

editorial - 2024 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පන්දු යවන්නන්ගේ සුවිශේෂී දස්කම් මත චැටෝග්‍රෑම් නුවරදීත් ජයග්‍රහණය හඹා යන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ අද (2 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ කඩුලු 7 ක් ලකුණු 268 කට බිම දමාගෙන සිටියහ. ජයග්‍රහණය සඳහා ලකුණු 511 ක ඉලක්කයක් කරා යන බංග්ලාදේශ කණ්ඩායම තවමත් ශ්‍රී ලංකාවට වඩා ලකුණු 242 ක් පසුපසින් සිටී. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය වන්නේ තවත් කඩුලු 3 ක් පමණක් වන අතර ඒ සඳහා හෙට (03 වැනිදා) සම්පූර්ණ දිනයම ඔවුන්ට ඉතිරිව තිබේ. 

මුල් ඉනිමේදී ලකුණු 353 ක් ඉදිරියෙන් සිටියදීත් ශ්‍රී ලංකා පිතිකරුවන් දෙවැනි ඉනිමේදී පිතිහරඹයට පිවිසීම සම්බන්ධයෙන් බොහෝ දෙනාට කුකුසක් තිබිණ. එහෙත් එහි අරමුණ වූයේ චැටෝග්‍රෑම් තණතීරුවේ පිතිකරුවන්ට යෝග්‍ය කොටස තවදුරටත් ප්‍රයෝජනයට ගනිමින්, සිව්වැනි ඉනිමේදී පන්දුවට පහර දෙන පිතිකරුවන් සඳහා එය වඩාත් නරක අතට හැරෙන සේ කටයුතු කිරීමයි. ශ්‍රී ලාංකිකයන් ඊයේ පෙරවරුවේදීත් තම ඉනිමට ලකුණු 55 ක් එකතු කළේත් තත්ත්වය හොඳින්ම දැන සිටි බැවිනි. 

සිව්වැනි ඉනිමේදී පන්දුවට පහර දෙමින් සිටින බංග්ලාදේශය කඩුලු 7 කට ලකුණු 268 ක් ලබා සිටී. මෙම ලකුණු 268, බංග්ලාදේශ පිතිකරුවන් මෙවර ටෙස්ට් තරගාවලියේදී ඉනිමකදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවයි. කලින් පැවැති ඉනිම තුනේදී බංග්ලාදේශීන්ගේ සම්පූර්ණ ඉනිමක ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 188, 182 සහ 178 ක් ලෙසිනි. 

ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ගේ අණසකට යටත්ව තිබූ ටෙස්ට් තරගාවලියේ පළමු වතාවට, ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ, බංග්ලාදේශ දෙවැනි ඉනිමේදී තරගයේ පාලනය අතට ගත්හ. ආරම්භක පිතිකරු මහමදුල් හසන් (24) සහ මොමිනුල් හක් (50) දවාගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වෙද්දී කමිඳු මෙන්ඩිස් විසින් සකිබ් අල් හසන් (36) සහ ශදාත් හොසේන් (15) දවාගන්නා ලදි. 

සකිබ් අල් හසන් සහ ලිටන් දාස් අතර පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 60 ඉක්මවා යද්දී කමිඳුගේ පන්දුවකට ‘බැක් කට්’ පහරක් ගැසීමට සකිබ් අල් හසන් උත්සාහ කළේය. එහෙත් පිතිකරුවා සිතුවාට වඩා පන්දුවේ දඟකැවීම වැඩි වූයෙන් සිදුවූයේ පිත්තේ කොණක වැදුණු පන්දුව ගලී කලාපයට ඇදී ගියේය. ඇසිපිය හෙළන සැණින් පන්දුව වෙත පැන්න නිෂාන් මධුෂ්ක එය උඩපන්දුවක් ලෙසින් ඩැහැගත්තේ කමිඳු මෙන්ඩිස්ට සිය මංගල ටෙස්ට් කඩුල්ල හිමිකර දෙමිනි. තමගේම පහර කෙරෙහි කෝපයට පත් සකිබ්, පිත්තෙන් පිටියට ගැසීමට උත්සාහ කළනමුත් අවසන් මොහොතේදී එය වළක්වා ගනිමින් ආපසු ක්‍රීඩාගාරයට පියමං කළේය. 

පෙර නොවූ විරූ පිටි සැකසීමක යෙදුණු ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා, පිතිකරුවන් නොසිතන තැන්වල ක්‍රීඩකන් රඳවමින් දෙවැනි ඉනිමේදීත් සම්බන්ධතා ගොඩනැඟීම අවහිර කළේය. ඔහු පන්දු යවන්නන් මාරු කළ ආකාරය පිළිබඳවත් ඊට හේතු කාරණා මොනවාද යන්නත් බංග්ලාදේශ පිතිකරුවන්ට ප්‍රශ්න පත්‍රයක්ම වූයෙන් දෙවැනි ඉනිමේදීත් බංග්ලාදේශ පිතිකරුවන් අතර සම්බන්ධතා සටහන් වූයේ 37-14-43-38-61-04 සහ 46 ක් ලෙසිනි. 

බංග්ලාදේශය වෙනුවෙන් එකම සාර්ථක පිතිරුවා වූ මොමිනුල් හක් අර්ධ ශතකය ලබාගත් විගසම ප්‍රභාත් ජයසූරිය පන්දු යැවීමට කැඳවූ ධනංජය වමත් පිතිකරුවාට සිතාගැනීමටවත් කාලයක් නොතබා ඩීප් ස්ක්වෙයාර් ලෙග්හි පන්දු රකින්නෙකු රැඳවීය. ප්‍රතිඵලය වූයේ අපේක්‍ෂා කළාට වඩා දඟ කැවුණු ජයසූරියගේ පන්දුව, මොමිනුල්ගේ පිත්තේ දාරයේ වැදී ඉහළ යාමයි. ඩීප් ස්ක්වෙයාර්හි සිටි ළහිරු කුමාරට උඩපන්දුව රැකගැනීමේ අපහසුතාවක් නොතිබිණ. 

කෙටි විවේකයකින් පසුව නැවත පැමිණි කමිඳු මෙන්ඩිස් ශදාත් හොසේන්ගේ ඉනිම ලකුණු 15 දී අවසන් කළේය. පිතිකරුවා විතීවි සහාය ඉල්ලා සිටි නමුත් පිටිය මැද සිටි විනිසුරු රොඞ් ටකර් මහතාගේ තීන්දුව නිවැරදි විය. 
තරගය හෙට (03 වැනිදා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 9.30 ට ආරම්භ වෙයි. හෙට තරගයේ අවසන් දිනයයි.
 


සකිබ් අල් හසන්ගේ උඩපන්දුව රැකගත් නිශාන් මධුෂ්ක (පා ආවරණ සහිතව බිම වැටී) වටකරගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දු යැවූ කමිඳු මෙන්ඩිස්ට (දකුණු කෙළවරේ) සතුට පළකරමින්

ඡායාරූපය - ඒ.එෆ්.පී, 


අදහස් (0)

ශ්‍රී ලංකාව ජය පෙනෙන මානයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.