Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකාව කෙරේ බලාපොරොත්තු දැල්වෙයි
ආසියානු කුසලාන - 2025

ශ්‍රී ලංකාව කෙරේ බලාපොරොත්තු දැල්වෙයි

editorial - 2025 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ආසියානු කලාපය සැලකෙන්නේ ක්‍රිකට් ලෝකයේ බලවත්ම කලාපය ලෙසිනි. ආසියානු රටවල් වන ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශය මෙන්ම ඇෆ්ඝනිස්ථානයත් මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන්ම සිටින රටවල් වෙති. එම රටවල් සියල්ලම ක්‍රීඩා කරන ආසියානු කුසලාන තරගාවලිය හෙට (9 වැනිදා) එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් අබුඩාබි නුවරදී ආරම්භ වෙයි. 

17 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලියේ ආරම්භක තරගය වෙනුවෙන් ඇෆ්ඝනිස්ථානය සහ හොං කොං කණ්ඩායම් පිටියට පිවිසෙති. ශ්‍රී ලංකාව තරගාවලියට පිවිසෙන්නේ මේ මස 13 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයෙනි. 

වර්ෂ 1984 සාජා නුවරදී ආරම්භ වූ තරගාවලිය මුල සිටම එක්දින ආකෘතියෙන් පැවැත්විණ. එහෙත් 2016 දී විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීමක් ලෙසින් ආසියානු කුසලාන තරගාවලියද 2016 දී සහ 2022 දී විස්සයි-20 ආකෘතියෙන් පැවැත්විණ. ලබන වසරේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් මෙවරත් ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ විස්සයි-20 ආකෘතියෙනි.  

විස්සයි-20 අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ ඉන්දියාව (1) හැරුණු විට ශ්‍රී ලංකාව (7) සිටින්නේ ආසියානු කලාපයේ අනෙක් සියලු කණ්ඩායම් වලට ඉහළිනි. ඇරත් සිම්බාබ්වේ පිලට එරෙහිව ඉරිදා පැවැති තරගයේදී කළ ක්‍රමානුකූල ලකුණු හඹායාම නිසාම මෙවර ආසියානු කුසලාන තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම කෙරෙහි බලාපොරොත්තු දැල්වී තිබේ. 

පළමු තරගයට පිවිසෙන ඇෆ්ඝනිස්ථානය, විස්සයි-20 අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ 9 වැනි ස්ථානයේ පසුවන නමුත් හොං කොං පිල සිටින්නේ 24 වැනි ස්ථානයේය. අවසන් වරට (2024) පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදීත් අවසන් පූර්ව වටයට පිවිසි ඇෆ්ඝනිස්ථානය ඔවුන්ගේ සාර්ථක ගමන් මඟේ ඊළඟ පරිච්ඡේදය ලිවීමට සූදානම් වෙමින් සිටින්නේ මෙවර ආසියානු කුසලාන තරගාවලියේදීය. 

ඇෆ්ඝනිස්ථානය ඇතුළත්ව සිටින්නේ ශ්‍රී ලංකාව ද ඇතුළත් ‘බී’ කාණ්ඩයට වන හෙයින් මෙවර තරගාවලිය්දී ඇෆ්ඝනිස්ථානය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර හොඳ තරගයක් දැකගත හැකිවනු ඇත. 

තරාතිරම කුමක් වූවත්, ලෝකයේ බොහෝ පිතිකරුවන් ඇෆ්ගනිස්ථානු දඟ පන්දු යවන්නන්ට දණ නමන අවස්ථා බොහෝය. එහෙත් ඇෆ්ඝනිස්ථානය සතුව මනා සමබර කණ්ඩායමක් සිටී. විශේෂයෙන්ම ඔවුන්ගේ ඉදිරිපෙළ පිතිකරුවන් මහත් වේගයෙන් ලකුණු ලබාගත හැකි, ඉහළ ප්‍රවේගයක් සහිත පිතිකරුවෝ වෙති. ඔව්හු නොබියවම තමන්ගේ පහර කරා යති. 

මොහොමඩ් නබි, කරීම් ජනාත් සහ ගුල්බදින් නයිබ් පළපුරුදු පිතිකරවෝ වෙති. ආරම්භක පිතිකරුවන් වන රමනුල්ලා ගුර්බාස් සහ ඊබ්‍රහිම් සද්‍රාන් දෙදෙනාම කසකාරයෝය. මේ සියලු දෙනාම සිටියදීත්, සෙඩිකුල්ලා අතල් සහ අස්මතුල්ලා ඔමාර්සායි තම තමන්ට ආවේනික නම් නිර්මාණය කරගෙන සිටිති. තවමත් 16 හැවිරිදි අල්ලා ගසන්ෆාර් කණ්ඩායමේ කවුරුත් නොදන්නා සාධකයයි. 

ඇෆ්ගනිස්ථානයේ වඩාත්ම භංකාර අවිය වන්නේ දඟ පන්දුවයි. 

රෂීඩ් ඛාන්, මුජීබ් උර් රහ්මාන්, මොහොමඩ් නබි සහ නූර් අහමඩ් ලෝක මට්ටමේ පන්දු යවන්නෝ වෙති. විශේෂයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පසුගියදා පැවැති තුන්කොන් තරගාවලියේදීත් අවසන් තරගයටත් පිවිසි ඇෆ්ඝනිස්ථානු පන්දු යවන්නෝ බියකරු සිහිනයක් ලෙසින් ප්‍රතිවාදී පිතිකරුවන්ගේ මනසේ හොල්මන් කරති. 

2022 වසරේදී ඇෆ්ඝනිස්ථානු පිලේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් වැඩ බාරගත් ජොනතන් ට්‍රොට්, මේ වන විට තම කණ්ඩායම ශක්තිමත් ඒකකයක් ලෙසින් නිර්මාණය කර තිබේ. 

ආරම්භක තරගයේ දෙවැනි කණ්ඩායම වන හොං කොං යනු 1992 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට ක්‍රීඩා කළ එංගලන්තයටත් ක්‍රීඩකයන් (ඩර්මොට් රීව්) සොයා දුන් රටකි. එහෙත් වර්තමානය වන විට හොං කොං ක්‍රිකට් ක්‍රීඩාව බෙහෙවින් පල්ලම් බැස තිබේ. 

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ආසියානු කුෂලාන තරගාවලියේ එකක් හැර අනෙක් සියලුම තරග ආරම්භය අඩ හෝරාවකින් කල්දමා තිබේ. හෙට තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 8.00 ට ආරම්භ වේ. 


අදහස් (0)

ශ්‍රී ලංකාව කෙරේ බලාපොරොත්තු දැල්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.