Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International වාසනාවේ දෙව්දුව සිඩ්නි පිටියේ
අළු බඳුන

වාසනාවේ දෙව්දුව සිඩ්නි පිටියේ

editorial - 2022 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කි‍්‍රකට් කියන්නේ වාසනාව මත රඳාපවතින කී‍්‍රඩාවක් යයි දශක ගණනාවක් පැරණි කතාවකි. 90 දශකයේදී ලෝකයේම කි‍්‍රකට් කී‍්‍රඩාව වෘත්තීමය තත්ත්වයට පිවිසීමෙන් පසුව මේ වාසනාවේ කතාන්දරය කෙමෙන් කෙමෙන් මැකී ගියත්, වාසනාවේ දෙව්දුව, හදිසියේම අද සිඞ්නි පිටියේ පෙනී සිටියේය.

සිඞ්නි පිටියේදී පැවැත්වෙන ‘අළු බඳුන’ තරගයේ තුන්වැනි දිනය වන අද (07 වැනිදා) පෙරවරුවේදී කැමරන් ගී‍්‍රන් යැවූ පන්දුවකින් බෙන් ස්ටෝක්ස්ගේ කඩුල්ල දෙවරක්ම ආරක්‍ෂා කරදුන් වාසනාවේ දෙව්දුව, පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 128 ක සම්බන්ධතාවකට පාර කපා දුන්නේ පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවමානයෙන් එංගලන්තයත් ගලවා ගනිමිනි. ඇදහිය නොහැකි නමුත්, මෙම වාසිදායක සිදුවීම් දෙක නිසා තරගයේ තුන්වැනි දිනය වූ අද සවස කී‍්‍රඩාව නතර කරන විට එංගලන්තය කඩුලූ 7 ක් දැවී ලකුණු 258 ක් ලබා සිටියේය.

 ඕස්ටේ‍්‍රලියානුවන් මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 416 ට වඩා එංගලන්තය තවමත් ලකුණු 158 ක් එංගලන්තය පසුපසින් සිටී. එහෙත් ශතක ලාභී ජොනී බෙයාර්ස්ටෝ (නොදැවී 103) තවමත් පිටියේ රැඳීසිටින අතර කඩුලූ 3 ක් ද එංගලන්තය සතුව තිබේ.

ලකුණු 416 කට පිළිතුරු සොයා යමින් සිටි එංගලන්ත ඉනිමේ 30 වැනි  ඕවරය අවසන් වන විට ලකුණු සංඛ්‍යාව වූයේ කඩුලූ 4 ට 57 කි. පිට පිටම දෙවැනි වතාවටත් පිටියට නොයා සිටීමට නම් එංගලන්ත පිතිකරුවන්, එතැන් සිට, තවත් ලකුණු 159 ක් ලබාගත යුතුව තිබිණ. ජොනී බෙයාර්ස්ටෝ (නොදැවී 04) සහ බෙන් ස්ටෝක්ස් (නොදැවී 16) අභියෝගයට මුහුණ දෙමින් සිටි පිතිකරුවෝ වූහ.

හැකි ඉක්මනින් එංගලන්තය ඉනිම අවසන් කිරීමේ බලාපොරොත්තුවෙන්  ඕස්ටේ‍්‍රලියානු නායක පැට් කමින්ස් සිය වේග පන්දු යවන්නා වන කැමරන් ගී‍්‍රන් යළිත් වතාවක් කැඳවූයේය. ගී‍්‍රන්ගේ පළමු පන්දුව නිදැල්ලේ යාමට ස්ටෝක්ස් ඉඩදුන් නමුත් පන්දුව පිතිකරුවා පසුකරනවාත් සමගින් කඩුල්ල තුළට දෝලනය විය. පන්දු රකින්නෝ මහ හඬින් ඉල්ලීමක් කළහ.

පන්දුව පා ආවරණයේ වැදුණ’යි සිතූ විනිසුරු පෝල් රයිෆල් මහතා ස්ටෝක්ස් කඩුල්ල අවරණය කිරීමේ වරදට හසුව දැවී ගියේ යයි තීන්දුව දුන්නේය. එහෙත් පන්දුව පා ආවරණයේ නොවැදුණු බව දත් ස්ටෝක්ස් සැණෙකින් විනිසුරු තීරණය විමසීය. රූපවාහිනී ප‍්‍රතිදර්ශන වලින් සනාථ වූයේ ස්ටෝක්ස්ගේ පා ආවරණය අහළකින් වත් නොගිය පන්දුව පිට ඉන්න මත තිබූ බේලයේ වදින නමුත් බේලය බිම දැමීමට එය සමත් නොවූ බවයි. ස්ටෝක්ස් දැවී ගිය කී‍්‍රඩකයකු බවට දුන් තීන්දුව වෙනස් කෙරිණ.

එතැන් සිට සිදුවූයේ ස්ටෝක්ස් සහ ජොනී බෙයාර්ස්ටෝ දෙදෙනා දවාගැනීමට  ඕස්ටේ‍්‍රලියානුවන් වෙහෙසවීම පමණි. පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 128 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමෙන් පසුව ස්ටෝක්ස් දැවී ගිය නමුත් පසුපෙළ පිතිකරුවන් හා එක්වූ බෙයාර්ස්ටෝ පිට පිටම දෙවැනි වරටත් පිතිහරඹයට යාමේ අවමානයෙන් එංගලන්ත පිල ගොඩගත්තේය.

බෙයාර්ස්ටෝගේ ලකුණු 103, එංගලන්ත කී‍්‍රඩකයකු මෙම සංචාරයේදී ලබාගත් පළමු ශතකයයි. ස්ටෝක්ස් ලබාගත්තේ මෙම සංචාරයේ පළමු අර්ධ ශතකයයි.

පැට් කමින්ස්ගේ පන්දුවක් මහපටැඟිල්ලේ වැදීම නිසා තදබල වේදනාවට පත්වූ නමුත් වේදනාව දරාගනිමින් පන්දුවට පහර දුන් බෙයාර්ස්ටෝගේ පන්දු 140 ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 8 කින් සමන්විත විය.


ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම කඩුලූ 8 ට 416 යි
එංගලන්තය - පළමු ඉනිම කඩුලූ 7 ට 258 යි

(සැක් ක්‍රෝලි 18, බෙන් ස්ටෝක්ස් 66, ජොනී බෙයාර්ස්ටෝ නොදැවී 103, මාක් වුඞ් 39, පැට් කමින්ස් 68/2, ස්කොට් බෝලන්ඩ් 25/2)

- 213

 


අදහස් (0)

වාසනාවේ දෙව්දුව සිඩ්නි පිටියේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.