Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International වනිඳුගේ දම් තොප්පිය නූලෙන් ගිළිහෙයි
අයි.පී.එල්.- 2022

වනිඳුගේ දම් තොප්පිය නූලෙන් ගිළිහෙයි

editorial - 2022 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී දෙවැනි වැඩිම මිලකට අලෙවි වූ විදෙස් ක්‍රීඩකයා බවට පත්වූ ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග, තරගාවලිය නිමා කළේ එහි දෙවැනි වැඩිම කඩුලු ලාභියා බවට පත්වෙමිනි. ඔහුට මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාට හිමිවන දම් පැහැති හිස්වැසුම අහිමිවූයේ එක් කඩුල්ලක අඩුවකිනි.

වසර ගණනක් තම කණ්ඩායම සතුව සිටි ප්‍රධානම දඟ පන්දු යවන්නා වූ යුස්වේන්ද්‍ර චාහල්ව මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී මිලදී ගැනීමට ඉදිරිපත් නොවූ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම, ඉන්දීය රුපියල් කෝටි 10.75 ක මුදලක් වැය කරමින් වනිඳුව සිය කණ්ඩායමට එක්කර ගත්තේ මහත් බලාපොරොත්තු සහිතවය. අවශ්‍ය අවස්ථාවලදී පිත්තෙන්ද යමක් කිරීමට වනිඳු සතුව තිබූ හැකියාවද ඊට හේතුව විය.

බැංගලෝර් කණ්ඩායමේ බලාපොරොත්තු මල්ඵල ගැන්වූ වනිඳු, තරගාවලිය ආරම්භයේ සිටම සිය කඩුලු දඩයම ඇරඹූවේය. තරගාවලියේ මුල් භාගයේදී වැඩිම කඩුලු ලාභීන් අතර මුල් ස්ථාන අතර රැදීමට මොහොමඩ් සාමි, උම්රාන් මලික්, කගිසෝ රබාඩා සහ ජොස් හේසල්වුඩ් වැනි වේග පන්දු යවන්නෝ සමත් වුවද, අවසන් භාගයේදී එය වනිඳු සහ චාහල් අතර පැවැති ද්වන්ද සටනක් බවට පත්විය.

බැංගලෝර් කණ්ඩායමේ ස්ථානයක් අහිමි වුවද රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග එක්ව සිය දස්කම් ඔපමට්ටම් කරගත් චාහල්, කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදී ලකුණු 40 කට කඩුලු 5 ක් දවාගනිමින් කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ පෙරමුණට පැමිණියේය. වනිඳු ඔහු සමග සටනට පිවිසියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව ලකුණු 18 කට කඩුලු 5 ක් දවාගැනීමත් සමගිනි.

එතැන් පටන් කිහිප වරක්ම දම් පැහැති හිස්වැසුම හුවමාරු කරගනිමින් තරග වැදිණු ඔවුන් දෙදෙනා අවසන් මහ තරගයට පෙර කඩුලු 26 බැගින් ලබා සම තත්ත්වයේ පසුවූහ. වනිඳු ක්‍රීඩා කළ බැංගලෝර් කණ්ඩායම දෙවැනි අවසන් පූර්ව තරගයේදී චාහල් ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායම හමුවේ පරාජයට පත්වීමත් සමග වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමේ වැඩි වාසි චාහල් සතුවිය. කෙසේ වුවත් ඒ වන විට කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍ය අනුව වනිඳු චාහල්ට වඩා ඉදිරියෙන් සිටියේය.

කුමාර් සංගක්කාර මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමත්, ලසිත් මාලිංග මහතා වේග පන්දු යවන පුහුණුකරු ලෙස කටයුතු කිරීමත් හේතුවෙන් අවසන් මහ තරගයේදී රාජස්ථාන් කණ්ඩායමට සහාය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීහු වැඩි උනන්දුවක් දැක්වූහ. එහෙත් එම තරගයේදී චාහල්ට කඩුල්ලක් දවාගැනීමට අවස්ථාවක් නොලැබෙනු ඇතැයිද, එසේ වුවහොත් වනිඳුට දම් පැහැති හිස්වැසුම හිමිවනු ඇතැයිද ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීහු බලාපොරොත්තු තබා සිටියහ.

බලාපොරොත්තු සියල්ල සුන්කර දමමින් අවසන් මහ තරගයේදී රාජස්ථාන් කණ්ඩායම පරාජයට පත්වූ අතර සිය අවසන් ඕවරයේ දෙවැනි පන්දුවේදී හර්දීක් පාණ්ඩ්‍යා දවාගනිමින් දම් පැහැති හිස්වැසුම තමන් සතුකර ගැනීමටද චාහල් සමත් විය. එහෙත් වනිඳුට වඩා එක් කඩුල්ලක් වැඩියෙන් දවාගැනීම සඳහා චාහල් ඕවර 11 ක් වැඩියෙන් යවා තිබිණ. ඔවුන් දෙදෙනාගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යයන් අතරද සැලකිය යුතු පරතරයක් පැවැති අතර එහිදී චාහල්ට වඩා වනිඳු ඉදිරියෙන් සිටියේය.

මෙවර තරගාවලියට සහභාගි වූ සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ද ඔවුන් ක්‍රීඩා කළ තරගවලදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූහ. එහිදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ මහීෂ් තීක්ෂණ කඩුලු 12 ක්ද, ලක්නව් සුපර් ජයන්ස්ට් කණ්ඩායමට ක්‍රීඩා කළ දුෂ්මන්ත චමීර කඩුලු 9 ක්ද දවාගත් අතර පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ ලකුණු 206 ක් රැස්කළේය.

චෙන්නායි කණ්ඩායම සහභාගි වූ අවසන් තරග දෙකේදී කරළියට පැමිණි මතීෂ පතිරණ බිඳහෙළුවේ කඩුලු 2 ක් පමණක් වුවත්, ලසිත් මාලිංගගේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යැවීම නිසා ඔහු වැඩි දෙනාගේ අවධානයට ලක්විය. එහිදී මතීෂගේ පන්දු යැවීම අයි.පී.එල්. විස්තර විචාරකයන්ගේ මෙන්ම චෙන්නායි කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනිගේද පැසසුමට ලක්විය.

 

භානුක රාජපක්ෂ...

 

මහීෂ් තීක්ෂණ ...

 

දුෂ්මන්ත චමීර ...

 

මතීෂ පතිරණ ...


අදහස් (0)

වනිඳුගේ දම් තොප්පිය නූලෙන් ගිළිහෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.