
(ශානුක අරවින්ද)
මේ දින වන එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ජාත්‍යන්තර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටි දසුන් ශානක ඇතුළු ක්‍රීඩකයන් 7 දෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හදිසි කැඳවීම මත යළි ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි වාර්තා වේ.
පැතුම් නිස්සංක, නුවන් තුෂාර, මතීෂ පතිරණ, කමිඳු මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ සහ දුෂ්මන්ත චමීර එලෙස පැමිණි සෙසු ක්‍රීඩකයන් වන අතර සෙනසුරාදා (20 වැනිදා) වන විට දිවයිනට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යොමු කළ ඊ-මේල් පණිවිඩයක් හේතුවෙන් ඔවුන් යළි පැමිණ ඇතැයි දැනගන්නට ලැබේ.
කෙසේ වුවත් ජාත්‍යන්තර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම ක්‍රීඩකයන්ට ‘විරෝධතාව නොදැක්වීමේ ලිපි’ ලබාදී තිබූ අතර එම ලිපිවලට අනුව ඔවුන්ට තරගාවලිය නිමාවන තෙක්ම ක්‍රීඩා කිරීම සඳහා අනුමැතිය හිමිව තිබූ බවද වැඩිදුරටත් දැනගන්නට ලැබේ.
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් යුත් නව තේරීම් කමිටුව පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායකත්ව යළිත් දසුන් ශානකට ලබාදීමටත්, එළෙබෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් ක්‍රීඩකයන් 25 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයක් නම් කිරීමටත් පියවර ගත්තේය.
ඒ වන විට ජාත්‍යන්තර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ඩුබායි කැපිටල්ස් කණ්ඩායමේ නායකත්වය දරමින් සිටි දසුන් මේ වන විට ක්‍රිකට් ආයතනයේ කැඳවීම මත සෙසු ක්‍රීඩකයන්ද සමග යළි දිවයින බලා පැමිණ සිටියි. දසුන්ට අමතරව දුෂ්මන්ත චමීරද ඩුබායි කැපිටල්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටියේය.
ජාත්‍යන්තර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේදී පැතුම් නිස්සංක සහ නුවන් තුෂාර ගල්ෆ් ජයන්ට් කණ්ඩායමටද, මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ සාජා වොරියර්ස් කණ්ඩායමටද, කමිඳු මෙන්ඩිස් එම්.අයි. එමිරේට්ස් කණ්ඩායමටද කණ්ඩායමටද ක්‍රීඩා කළ අතර එහිදී පැතුම් අවස්ථා දෙකකදීද, කමිඳු සහ මතීෂ එක් අවස්ථාවකදී බැගින්ද තරගයේ වීරයාට හිමි සම්මාන දිනාගෙන තිබිණ.
මෙම ක්‍රීඩකයන්ට අමතරව කුසල් මෙන්ඩිස් සාජා වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අතර ආබාධ තත්වයකට ප්‍රතිකාර ගැනීම වෙනුවෙන් ඔහු කල් තියාම තරගාවලියෙන් ඉවත් විය. වනිඳු හසරංග මෙම තරගාවලියේදී ඩෙසට් වයිපර්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතව සිටියද මෙම කැඳවීම ලැබෙන තෙක්ම ඔහු එම කණ්ඩායම සමග එක්ව නොසිටියේය.
ඉහත නම් සඳහන් ක්‍රීඩකයන් 9 දෙනාම නව තේරීම් කමිටුව විසින් නම් කරන ලද ලෝක කුසලාන මූලික සංචිතයට ඇතුළත් ක්‍රීඩකයන් වන බැවින් ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් පැවැත්වෙන පුහුණුවීම සඳහා සහභාගි කර ගැනීමේ අරමුණෙන් මෙම ක්‍රීඩකයන් යළි දිවයිනට කැඳවා ඇතැයි දැනගන්නට ලැබේ.
ලබන වසරේ (2026) පෙබරවාරි මස 7 වැනිදා සිට මාර්තු මස 8 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී සහ ඉන්දියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන විස්සයි-20 තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම, මෙරටදී පාකික්සානයට එරෙහිව විස්සයි-20 තරග 3 කටද, එංගලන්තයට එරෙහිව එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කටද සහභාගි වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.