Last Update  :  2025-05-10 20:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ලක්මාල් සමුගැනීමට සැරසෙයි

ලක්මාල් සමුගැනීමට සැරසෙයි

editorial - 2022 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුරංග ලක්මාල් එළඹෙන ඉන්දීය තරග සංචාරයෙන් අනතුරුව සියලුම ආකාරයේ ජාත්‍යන්තර තරගවලින් සමුගැනීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් ඔහු සිය තීරණය පිළිබඳව දැනුම්දී ඇත.

“ම‍ගේ මවුබිමට ගෞරවය අත්කරදීම සඳහා ‍මට‍ අවස්ථාව ලබාදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මම ණයගැතියි. මාගේ දක්ෂතා හඳුනාගෙන ඒවා ඔපමට්ටම් කරගැනීම වෙනුවෙන් මට සහය දැක්වීම සම්බන්ධයෙන් මම ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වෙනවා.” යැයි ලක්මාල්ගේ ලිපියේ සඳහන්ව තිබිණ.

“මා සමග ක්‍රීඩා කළ ක්‍රීඩකයන්, පුහුණුකරුවන්, කළමනාකරුවන්, සහාය කාර්ය මණ්ඩල සාමාජිකයන්, පරිපාලන කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ නන් අයුරින් මා හට සහයෝගය ලබාදුන් සියලුම දෙනාව මෙම අවස්ථාවේදී මම ඉතා කෘතහස්තව සිහිපත් කරනවා.” යැයිද එහි වැඩිදුරටත් සඳහන්ව තිබිණ.

මේ වන විට 34 වැනි වියේ පසුවන මෙම දකුණත් මඳ වේග පන්දු යවන්නා ටෙස්ටි තරග 68 කදී, එක්දින තරග 86 කදී සහ විස්සයි-20 තරග 11 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත. 2010 වසරේ පී. සරා ක්‍රීඩාංගණයේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවැති තරගයකදී ටෙස්ට් වරම් හිමිකරගත් ඔහු මේ දක්වා බිඳහෙළා ඇති ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 168 කි.

එක්දින තරගවලදී 32.42 ක සාමාන්‍යයක් රඳවාගනිමින් කඩුලු 109 ක් දවාගෙන ඇති ලක්මාල්, විස්සයි-20 තරගවලදී කඩුලු 8 ක් දවාගෙන ඇත්තේ 41.25 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. ඉකුත් වසරේ (2021) මාර්තු මා‍සයේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිවද, 2019 වසරේ මාර්තු මස දකුණු අප්‍රිකාවට එරෙහිවද පිළිවෙලින් ඔහු අවසන් වරට එක්දින සහ විස්සයි-20 තරගවලට ක්‍රීඩා කළහ.

ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ 16 වැනි නායකයා බවට පත්වූ ලක්මාල්, තමා නායකත්වය දැරූ පළමු තරගයේදීම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමටද සමත් විය. කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය කළ පළමු ආසියානු කණ්ඩායම බවට පත්වීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට එහිදී හැකි විය.

ඉන් අනතුරුව 2018 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගාවලියකදී දකුණු අප්‍රිකාවට එරෙහිව 2-0 ක ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලැබුවේද ලක්මාල් විසිනි. එම වසරේදීම එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 1-1 ලෙස සම තත්ත්වයට පත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේද ලක්මාල්ගේ නායකත්වය යටතේය.

ඒ අනුව ටෙස්ට් තරග 5 කදී ශ්‍රී ලංකා කණ්ඩා‍යමේ නායකත්වය දැරූ ලක්මාල්, ඉන් තරග 4 කදී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවා ඇත. 2016-17 තරගවාරය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ සම්මාන උළෙලේදී දක්ෂතම එක්දින පන්දු යවන්නා ලෙසද ලක්මාල් සම්මාන දිනාගත්තේය.

-036


අදහස් (0)

ලක්මාල් සමුගැනීමට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.