Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International යොවුන් පිල හෙට අයර්ලන්තය හමුවේ
යොවුන් ලෝක කුසලාන - 2022

යොවුන් පිල හෙට අයර්ලන්තය හමුවේ

editorial - 2022 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

වයස 19 න් පහළ කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සඳුදා (10 වැනිදා) අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පෙරහුරු තරගයකට කී‍්‍රඩා කිරීමට නියමිතය.

ගයානා කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පස්වරු 7.30 ට ආරම්භ වනු ඇත.

තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 16 ම තරගාවලිය ආරම්භ වීමට පෙර පෙරහුරු තරග 2 කට බැගින් කී‍්‍රඩා කිරීමට අවස්ථාව හිමිව තිබේ. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහභාගි වන අනෙක් පෙරහුරු තරගය ලබන 12 වැනිදා උගන්ඩාවට එරෙහිව පැවැත්වීමට නියමිතය.

තුන් ඉරියව් කී‍්‍රඩක දුනිත් වෙල්ලාලගේ නායකත්වයෙන් සමන්විත ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම, මෙවර ලෝක කුසලාන තරගාවලියට යන්නේ අවසන් වරට සහභාගි වූ එක්දින තරග 15 කින් 11 ක් ජයගැනීමෙන් පසුවය. ආසියානු කුසලාන අවසන් මහ තරගය සහ එංගලන්ත යොවුන් පිල හමුවේ තරග 2 ක් පමණක් ශී‍්‍ර ලංකා යොවුන් පිල පරාජය විය.

ලෝක කුසලාන තරගාවලියට පෙර කණ්ඩායමේ පුහුණුකරු අවිෂ්ක ගුණවර්ධන මහතා කියා සිටියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම තමාගේ ප‍්‍රධාන අරමුණ බවය.

‘ඞී’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මූලික වටයේදී සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට, ඕස්ටේ‍්‍රලියාවට සහ ස්කොට්ලන්තයට එරෙහිව තරග වැදිමට නියමිතය. සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට නම් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මූලික වටය අවසානයේ ‘ඞී’ කාණ්ඩයේ පළමු ස්ථාන 2 අතරට පැමිණිය යුතුය.

එහිදී ‘ඞී’ කාණ්ඩයේ පළමු වැනියා ලෙස සුපිරි 8 දෙනාගේ වටයට පිවිසෙන්නේ නම් ශ්‍රී ලංකා කණ්ඩායමට ‘සී’ කාණ්ඩයේ දෙවැනියාට එරෙහිව තරග වැදීමට සිදුවනු ඇත. එහෙත් ‘ඞී’ කාණ්ඩයේ දෙවැනි ලෙස සුපිරි 8 දෙනාගේ වටයට පිවිසෙන්නේ නම් ශ්‍රී ලංකා කණ්ඩායමට තරග වැදීමට සිදුවන්නේ ‘සී’ කාණ්ඩයේ පළමු වැනියාට එරෙහිවය.

මූලික වටය අවසානයේ ‘ඞී’ කාණ්ඩයේ පළමු ස්ථාන 2 අතරට පැමිණීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ පළඟ ශූරතාව වෙනුවෙන් තරග වැදීමට සිදුවනු ඇත. මූලික වටයේ තරග මෙම මස 14 වැනිදා ආරම්භ වන අතර පෙබරවාරි මස 5 වැනිදා තරගාවලිය නිමාවන පත්වනු ඇත.

වසර 1988 සිට මේ දක්වා පැවැති වයස 19 න් පහළ කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලි 14 ටම සහභාගි වී ඇති ශ්‍රී ලංකාව, එහිදී ලබා ඇති ඉහළම ජයග‍්‍රහණය වන්නේ 2000 වසරේදී සත්කාරකත්ව දැරූ තරගාවලියේ අනු ශූරතාව හිමිකරගැනීමයි.  

මලින්ත ගජනායකගේ නායකත්වය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම එම තරගාවලි අනු ශූරතාවට හිමිකම් කීවේ අවසන් මහ තරගයේදී මොහොමඞ් කයිෆ් නායකත්වය දැරූ ඉන්දීය යොවුන් කණ්ඩායම හමුවේ කඩුලූ 6 කින් පරාජයට පත්වෙමිනි.

පසු කලෙක ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ඉයන් ඩැනියෙල්, ජෙහාන් මුබාරක්, තිළිණ කණ්ඩම්බි, මුතුමුදලිගේ පුෂ්පකුමාර, කෞෂාල් ලොකුආරච්චි, කෞෂල්‍ය වීරරත්න, අකලංක ගණේගම සහ ප‍්‍රභාත් නිස්සංක යන කී‍්‍රඩකයෝ 2000 තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කළහ.

වසර 2010 දී චතුර පීරිස්ගේ නායකත්වය යටතේද, වසර 2016 දී චරිත් අසලංකගේ නායකත්වය යටතේද ශ්‍රී ලංකා කණ්ඩායම යොවුන් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පැමිණ තිබේ. කෙසේ වුවත් අවසන් වරට සහභාගි වූ 2018 සහ 2020 තරගාවලි වලදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට පිළිවෙලින් 9 වැනි සහ 10 වැනි ස්ථාන වලට ඇද වැටිණ.

 


අදහස් (0)

යොවුන් පිල හෙට අයර්ලන්තය හමුවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.