යුවරාජ් - යූසුෆ් ශ්‍රී ලංකාව අඬවති
යුවරාජ් සිංගේ (පන්දු 41 න් 60 යි) පිතිහරඹයත් යූසුෆ් පතාන්ගේ (නොදැවී 62 සහ 26/2) තුන් ඉරියව් දස්කම් හමුවේ ‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්’ තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අද (21 වැනිදා) සමත්විය. රායිපූර්හිදි පැවැති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 14 ක ජයක් හිමිකර ගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්විය.
සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවම මෙම තරගය දෙස බලා සිටියේ එය ලෝක කුෂලාන තරගයක අවසන් මහ තරගයක් ලෙස සලකමිනි. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කළ ප්‍රවීණයෝ විශිෂ්ට දස්කම් දක්වමින් ඉලක්කය හඹා ගිය නමුත් යුවරාජ් සිං සහ යුසූෆ් පතන් දෙදෙනාගේ ප්‍රහාරාත්මක පිතිහරඹයෙන් තරගයේ තිීරණාත්මක වෙනස නිර්මාණය කෙරිණ.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ෂාන් පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 181 ක් රැස්කිරීමට ඔව්හු සමත්වූහ.
වේගවත් පිතිහරඹවල නිරතවූ යුවරාජ් සිං සහ යූසුෆ් පතන් අර්ධ ශතක රැස්කරමින් ඉන්දීය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ. යුවරාජ් සිං පන්දු 41 කදී හයේ පහර සහ හතරේ පහර 4 බැගින් එල්ල කරමින් ලකුණු 60 ක් ලබාගත් අතර යූසුෆ් පතාන් පන්දු 36 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 62 ක් ලබාගත්තේය. සචින් තෙන්ඩුල්කාර් පන්දු 23 කදි හතරේ පහර 5 ක් සමගින් ලකුණු 30 ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායක විය.
ෆර්වීස් මහරූෆ් සිය ඕවර 4 ලකුණු 16 කට සීමාකරමින් කඩුල්ලක් දවාගත් අතර රංගන හේරත්, සනත් ජයසූරිය සහ කෞෂල්‍ය වීරරත්නද කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 182 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 167 ක් පමණි. අවසන් ඕවර 3 තුලදී ජයග්‍රහණය සඳහා ලකුණු 49 ක් අවශ්‍යවූ අතර 18 වැනි ඕවරයේදී ලකුණු 19 ක් ලබාගනිමින් බලාපොරොත්තු ඉහළ දැමීමට චින්තක ජයසිංහ සහ කෞෂල්‍ය වීරරත්න සමත්වූහ. එහෙත් 19 වැනි ඕවරයේදී කෞෂල්‍ය වීරරත්න දැවීයාමත් සමගින් ජයග්‍රයණය ශ්‍රී ලංකා කණ්ඩායමේ දුරස්ව ගියේය.
ආරම්භක පිතිකරුවන් වූ තිලකරත්න ඩිල්ෂාන් සහ සනත් ජයසූරිය පළමු කඩුල්ල සඳහා පන්දු 44 කදී ලකුණු 62 ක් රැස්කරමින් සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. තිලකරත්න ඩිල්ෂාන් පන්දු 18 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 21 ක් ලබාගත් අතර සනත් ජයසූරිය පරණ මතකයන් අවදි කරමින් පන්දු 35 කදි හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 43 ක් ලබාගැනීමට සමත්විය. එහෙත් 7 වැනි ඕවරය අවසානයේදී ඉන්දීය නායකයා ලබාගත් උපක්‍රමශීලී විවේකය හේතුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ රිද්මය බිඳී ගිය අතර පන්දු දෙකකට පසුව ඩිල්ෂාන් දැවී ගියේය.
ලකුණු 91 කට කඩුලු 4 ක් දැවී තිබියදී පස්වැනි කඩුල්ල සඳහා පන්දු 35 කදී 64 ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යාමට චින්තක ජයසිංහ සහ කෞෂල්‍ය වීරරත්න උත්සහ දැරුවද අවසන් එම මොහොතේ බලාපොරොත්තු සුන්වී ගියේය.
චින්තක ජයසිංහ පන්දු 30 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 40 ක් ලබාගත් අතර ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ කෞෂල්‍ය වීරරත්න පන්දු 15 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් එල්ල කරමින් ලකුණු 38 ක් ලබාගත්තේය.
ලකුණු පුවරුව
ඉන්දීය ලෙජන්ඩ්ස්
විරේන්ද්‍ර සෙවාග් - ප.හේරත් 10
සචින් තෙන්ඩුල්කාර් - ඇ.තරංග ප.මහරූෆ් 30
සුබ්‍රමනියම් බද්‍රිනාත් - ක.මු.කළා ප.ජයසූරිය 7
යුවරාජ් සිං - ඇ.මහරූෆ් ප.වීරරත්න 60
යූසුෆ් පතාන් - නොදැවී 62
ඉර්ෆාන් පතාන් - නොදැවී 8
අතිරේක 4
ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 181
පන්දුවට පහරනොදුන් පිතිකරුවෝඃ
නාමන් ඕජා, මන්ප්‍රීට් ගෝනී, විනේ කුමාර්, ප්‍රාග්යාන් ඕජා, මුනාෆ් පතෙල්.
කඩුලු වැටීමඃ
1-19 (සෙවාග්), 2-35 (බද්‍රිනාත්), 3-78 (තෙන්ඩුල්කාර්), 4-163 (යුවරාජ් සිං)
පන්දු යැවීමඃ
රංගන හේරත් 2-0-11-1, නුවන් කුලසේකර 4-0-44-0, තිලකරත්න ඩිල්ෂාන් 2-0-25-0, සනත් ජයසූරිය 2-0-17-1, ධම්මික ප්‍රසාද් 4-0-44-0, ෆර්වීස් මහරූෆ් 4-0-16-1, කෞෂල්‍ය වීරරත්න 2-0-23-1
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්
තිලකරත්න ඩිල්ෂාන් - ඇ.නාමන් ඕජා ප.යූසුෆ් පතාන් 21
සනත් ජයසූරිය - ක.මු.කළා ප.යූසුෆ් පතාන් 43
චාමර සිල්වා - ඇ.බද්‍රිනාත් ප.ඉර්ෆාන් පතාන් 2
උපුල් තරංග - ඇ.පවාර් (අතිරේක) ප.ඉර්ෆාන් පතාන් 13
චින්තක ජයසිංහ - දුවද්දි දැවී ගියා 40
කෞෂල්‍ය වීරරත්න - ඇ.විනේ කුමාර් ප.ගෝනී 38
නුවන් කුලසේකර - නොදැවී 1
ෆර්වීස් මහරූෆ් - ඇ.විනේ කුමාර් ප.මුනාෆ් පතෙල් 0
අතිරේක 9
ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 167
පන්දුවට පහරනොදුන් පිතිකරුවෝඃ
රසල් ආනල්ඩ්, ධම්මික ප්‍රසාද්, රංගන හේරත්.
කඩුලු වැටීමඃ
1-62 (ඩිල්ෂාන් ), 2-65 (සිල්වා), 3-83 (ජයසූරිය), 4-91 (තරංග), 5-155 (වීරරත්න), 6-167 (ජයසිංහ), 7-167 (මහරූෆ්)
පන්දු යැවීමඃ
මන්ප්‍රීට් ගෝනී 4-0-24-1, මුනාෆ් පතෙල් 4-0-46-1, ප්‍රාග්යාන් ඕජා 2-0-12-0, විනේ කුමාර් 2-0-29-0, යූසුෆ් පතාන් 4-0-26-2, ඉර්ෆාන් පතාන් 4-0-29-2