Last Update  :  2025-07-29 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International මිකී ආතර් ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

මිකී ආතර් ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

editorial - 2021 නොවැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟින් පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා සිය තනතුරෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ. 

“කණගාටුවෙන් වුණත්, කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලියෙන් පස්සේ, ශ්‍රී ලංකාව සමග මගේ ගමන අවසන් කරන්නට සිදුවී තිබෙනවා. මේ අලංකාර රටේ ජාතික කණ්ඩායම පුහුණුකළ සෑම විනාඩියකදීම මා ඉතාමත් තෘප්තිමත්ව සිටියා. ක්‍රීඩකයන්ට වගේම ශ්‍රී ලාංකිකයන්ටත් බොහෝම ස්තුතියි” 

“ශ්‍රී ලංකා කණ්ඩායම දැන් වඩාත් හොඳ තැනක ඉන්න බව මා දන්නවා” යයි මිකී ආතර් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබිණ. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයෙන් ඉවත්වන මිකී ආතර් මහතා එංගලන්තයේ ඩාර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්‍ෂවරයා ලෙස පත්වීමට නියමිතය.

“මගේ අවසන් පැවරුම වූ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියෙන් පසුව පුහුණුකාර ධූරයෙන් ඉවත්වන බව කණගාටුවෙන් වුවත් දැනුම් දෙන්න සිද්ධ වෙනවා. ඩර්බිෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස වසර 3 ක ගිවිසුමක් මම අත්සන් කළා”යැයි සඳහන් කරමින් මිකී ආතර් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරුන් වෙත ඊ-මේල් පණිවුඩයක් යවා ඇත.

“මම ශ්‍රී ලංකාව පැමිණි කාලයට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම දැන් හොඳ තැනක ඉන්නා බව මම දන්නවා. ඉතා හොඳ දක්ෂතා ඇති කර ගැනීමට මෙන්ම අනාගතයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යම් තිරසාර සාර්ථකත්වයක් ලබා දිය හැකි කණ්ඩායමක් සහ සන්නාමයක් ගොඩනඟා ගැනීමට උදව් කරලා තියෙනවා” යනුවෙන් ඔහු එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

තමන් පිටව යන්නේ කැමැත්තෙන් නොවන බවත්, තම අනාගතය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සහතිකයක් නොලැබීම මෙම තීරණයට බලපෑ බවත් ආතර් මහතා සඳහන් කර ඇත.

“ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට, ක්‍රීඩකයින්ට, ජනතාවට සහ ඔබේ සුන්දර රටට මම ආදරයෙන් බැඳුණා. මට අවශ්‍ය වූයේ මා සහ මගේ සහායක කාර්ය මණ්ඩලය කරන සේවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුටු වන බවට ඇඟවීමක් පමණයි. නමුත් ඒ පිළිබඳව ඔබලාට කිසිදු හැඟීමක් නොමැති බව මට පෙනී ගියා. තවදුරටත් මම මෙහි රැදී සිටීමෙන් තේරුමක් නෑ. ”

කෙසේ වෙතත් ඉදිරි තරගමාලාව ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට උපකාර කිරීමට ආතර් මහතා පොරොන්දුවී ඇත.

“අවසන් තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට උදව් කිරීමට මම අදිටන් කරගෙන සිටිනවා. මගේ ඉවත්වීම ටෙස්ට් තරඟාවලි ජයග්‍රහණයක් සමඟින් අවසන් කිරීමට වඩා හොඳ කිසිවක් නෑ” යැයි මිකී ආතර් මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්‍ෂක ටොම් මූඩි මහතා වෙත යවන ලද ලිපියේ සඳහන් කර ඇත.

- 2079

 

 

 


අදහස් (0)

මිකී ආතර් ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.