Last Update  :  2025-08-15 14:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International මහේල දින 4 ටෙස්ට් තරගවලට එරෙහි වෙයි

මහේල දින 4 ටෙස්ට් තරගවලට එරෙහි වෙයි

editorial - 2020 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම මේ වන විට ක්‍රිකට් පුහුණුකරුවකු වශයෙන්ද නමක් දිනාගනිමින් සිටින මහේල ජයවර්ධන මහතා දින හතරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අකමැත්ත පළ කර සිටී. අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් නම්කරන ලද ක්‍රිකට් කමිටුවේද සාමාජිකයකු වන මහේල ජයවර්ධන මහතා, මේ වන විට මුම්බායි ඉන්දියන්ස් පිලේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කරමින් සිටී.

මහේලගේ අදහස වන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව දින 5 තරග වලින් සමන්විත විය යුතු බවයි.

ටෙස්ට් ක්‍රිකට් තරග දින 4 කට සීමා කළ යුතුද නැද්ද යන්න පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ක්‍රිකට් කමිටුව මීළඟ රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතය. මාර්තු මස 27 වැනිදා සිට 31 වැනිදා දක්වා ඩුබායි නුවරදී පැවැත්වීමට නියමිත අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ක්‍රිකට් කමිටු රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව එහි සභාපති අනිල් කුම්බල් මහතා කියයි.

කෙසේ වෙතත් මහේල ජයවර්ධන කියන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ දැනට පවතින ස්වභාවය වෙනස් කිරීම සම්බන්ධයෙන් තමන් පුද්ගලිකව එකඟ නොවන බවයි.

“අපි මේ ගැන සාකච්ඡා කරනවා.. මා දන්නේ නෑ ඊට පස්සේ මොකක් වෙයිද කියලා... ඒත් මගේ පුද්ගලික මතය නම් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව දින 5 තරග වලින් සමන්විත යුතුයි” යයි මහේල ජයවර්ධන පී.ටී.අයි. පුවත් සේවයට පැවසීය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ වන  විට පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේදී මහේල ජයවර්ධන මහතා රූපවාහිනී විස්තර විචාරකයකු ලෙසින් කටයුතු කරමින් සිටී. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ක්‍රිකට් කමිටුවට හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන ඇන්ඩෲ ස්ට්‍රෝස් (එංගලන්තය), රාහුල් ද්‍රාවිඞ් (ඉන්දියාව) සහ ෂෝන් පොලොක් (දකුණු අප්‍රිකාව) වැනි ක්‍රීඩකයෝත් ඇතුළත්ව සිටිති.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව දින 4 තරග වලින් සමන්විත විය යුතු යයි යන යෝජනාව 2023 - 2031 කාලසීමාව වෙනුවෙන් සකස් කෙරෙන්නකි. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාවේ හිටපු විශිෂ්ටයින්ගෙන් ඒ සඳහා කිසිම ආකාරයේ සහයෝගයක් ලැබී නැත. වත්මන් ඉන්දීය නායක විරාට් කෝලි, හිටපු ශ්‍රේෂ්ඨ පිතිකරු සචින් තෙන්ඩුල්කාර් සහ ඕස්ටේ්‍රලියානු පිලේ හිටපු නායක රිකී පොන්ටිං වැන්නෝත් දින 4 ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට එරෙහි වෙති.

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය දින 4 ටෙස්ට් ක්‍රිකට් තරග වෙනුවෙන් පෙනී සිටිති. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා වන හිටපු ටෙස්ට් නායක සව්රව් ගංගුලි මහතාගෙන් ඒ ගැන කළ විමසීමකදී ඔහුකියා සිටියේ ’“ඒ ගැන කියන්න තවමත් වේලාසන වැඩී” යනුවෙනි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි-20 තරගාවලිය ආරම්භ වීමට පෙරම විරාට් කෝලි මේ සම්බන්ධයෙන් තම ස්ථාවරය මහත් අවධාරණයෙන් පැහැදිළි කළේය.

“මම නම් හිතන්නේ ඒක (ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව) වෙනස් කළ යුතු නෑ...... දිවා/රාත්‍රී ටෙස්ට් තරග නිසා මේ ක්‍රීඩාවට කිසියම් වාණිජත්වයක් එක් වෙනවා. ඒත් ටෙස්ට් ක්‍රීඩාවත් එක්ක සෙල්ලම් කරන්න යන්න නරකයි”
“කතා කරන්නේ ඉලක්කම් ගැන විතරයි...ඒකෙන් ලැබෙන විනෝදාස්වාදය ගැන විතරයි.... ඒත් ඒකේ අරමුණ හොඳ නෑ... මොකද ඊට පස්සේ කියයි දින තුනේ ටෙස්ට් තරග පවත්වන්න ඕනා කියලා... මං අහන්නේ මේකේ අවසානය කොතැනද?.....ඊට පස්සේ කියයි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව නොපෙනී යනවා කියලා.... ඒ හින්දා මම නම් වැඬේට කොහොමටවත් කැමති නෑ” යයි විරාට් කෝලි පැවසීය.

මේ වන විට ලොව සිටින විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් සැලකෙන එංගලන්තයේ බෙන් ස්ටෝක්ස් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් දරන්නේ මෙවන් අදහසකි.

“ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව නිර්මාණය වෙලා තියෙන්නේ දින 4 කට නෙමේ. ඒක නිර්මාණය වෙලා තියෙන්නේ දින 5 ක් සඳහායි. ඒකට ටෙස්ට් ක්‍රිකට් කියන්නේ කිසියම් හේතුවක් ඇතුවයි. ඉතින් ඒක දින 4 තරග කරන්න ඕන නම් ඒකට නිකම්ම නිකම් ‘ක්‍රිකට්’ කියන්න”

ටෙස්ට් කඩුලු 390 ක හිමිකරුවකු වී සිටින ඕස්ට්‍රේලියානු පිලේ පිට දඟ පන්දු යවන නේදන් ලයන් කියන්නේ දින හතරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව “විකාරයක්” බවයි.

කෙසේ වෙතත් මේ වන විට ටෙස්ට් පිටියෙන් සමුගෙන සිටින ෂේන් වෝන්, මාක් ටේලර් සහ මයිකල් වෝන් වැනි ක්‍රීඩකයෝ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට දින 4 ක් ඇති බව පවසති

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අභිප්‍රාය වන්නේ මේ වන ඉතාමත් කාර්යබහුල වී ඇති අන්තර්ජාතික ක්‍රිකට් දින දර්ශනයට විවේක දින කිහිපයක් එකතුකර ගැනීමයි. එහෙත් එහි යටි අරමුණ වන්නේ වාණිජ වශයෙන් වඩාත් සාර්ථක සීමිත ඕවර තරග වෙනුවෙන් ඒ දින යොදා ගැනීමයි.

ටෙස්ට් පිටියේ වඩාත් දුර්වල කණ්ඩායම් ලෙසින් සැලකෙන අයර්ලන්තය සහ සිම්බාබ්වේ සමග එංගලන්තය සහ දකුණු අප්‍රිකාව දින හතරේ තරග දෙකකට 2017 දී සහභාගි වූහ.

..


අදහස් (0)

මහේල දින 4 ටෙස්ට් තරගවලට එරෙහි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.