Last Update  :  2025-07-28 15:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International මලාන් - රූට් එංගලන්තය බේරාගනිති
අළු බඳුන ටෙස්ට් තරගාවලිය

මලාන් - රූට් එංගලන්තය බේරාගනිති

editorial - 2021 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බ්‍රිස්බේන්හි පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (9 වැනිදා) ක්‍රීඩාව නරත කරන විට ඬේවිඞ් මලාන්ගේ සහ ජෝ රූට්ගේ සටන්කාමී පිතිහරඹය හමුවේ එංගලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 220 ක් ලබා ඕස්ට්‍රේලියාවට අභියෝගයක් දෙමින් සිටියේය. කෙසේ වුවත් ඕස්ට්‍රේලියාව පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා එංගලන්තය තවත් ලකුණු 58 ක් පසුපසින් සිටියි. 

ආරම්භක කඩුලු 2 ලකුණු 61 ක් තුළ දැවී ගියද, ඉනිමක පරාජයකින් එංගලන්තය බේරාගත් ඬේවිඞ් මලාන් සහ ජෝ රූට් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 159 ක නොබිදුණු සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ. තෙවැනි දිනය අවසානයේ මලාන් පන්දු 177 කදී හතරේ පහර 10 ක් සමග ලකුණු 80 ක්ද, ජෝ රූට් පන්දු 158 කදී හතරේ පහර 10 ක් සමග ලකුණු 86 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.  

පන්දු යවන්නන් 6 දෙනෙකු උපයෝගී කර ගනිමින් එංගලන්ත පිතිකරුවන් මෙල්ල කිරීමට නායක පැට් කමින්ස් උත්සහ දැරුවද, පළමු ඉනිමේදී මෙන් අඩු ලකුණු සංඛ්‍යාවකට එංගලන්තය දවාගැනීමට ඔහු අපොහොසත් විය. එංගලන්ත දෙවැනි ඉනිමේදී බිඳ වැටුණ කඩුලු 2 ක පැට් කමින්ස් සහ මිචෙල් ස්ටාක් අතරේ බෙදී ගියේය. 

දෙවැනි දිනය වූ පෙරේදා (9 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කඩුලු 7 ක් දැවී ලකුණු 343 ක් රැස්කර ගෙන සිටි ඕස්ටේ්‍රලියානු ක්‍රීඩකයෝ ඊයේ දිනයේදී සියලු දෙනා දැවී තවත් ලකුණු 82 ක් සිය ඉනිමට එක්කර ගැනීමට සමත් වූහ.

පෙරේරා දිනයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ ට්‍රැවිස් හෙඞ්, ඊයේ ඕස්ටේ්‍රලියානු ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී ගියේය. මාක් වුඞ්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී යනවිට හෙඞ් ලකුණු 152 ක් ලබා සිටියේය. පන්දු 148 කට මුහුණදුන් ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 14 ක් ඇතුළත් විය. 

හෙඞ් සමග එක්ව 8 වැනි කඩුල්ල සඳහා ලකුණු 85 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඕස්ට්‍රේලියානු ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට මිචෙල් ස්ටාක් සමත් විය. ක්‍රිස් වෝක්ස්ගේ පන්දුවක් හමුවේ රොරී බර්න්ස් අතට උඩපන්දුවක් දෙමින් දැවී යනවිට ස්ටාක් පන්දු 64 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 35 ක් ලබා සිටියේය. 

එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 147

ඕස්ටේ්‍රලියා පළමු ඉනිම - සියලු දෙනා දැවී 425
(ඬේවිඞ් වෝනර් 94, මානස් ලැබුෂේන් 74, ට්‍රැවිස් හෙඞ් 152, මිචෙල් ස්ටාර්ක් 35, ඔලී රොබින්සන් 58/3, මාක් වුඞ් 85/3, ක්‍රිස් වෝක්ස් 76/2)

එංගලන්ත දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 220
(හසීබ් හමීඞ් 27, ඬේවිඞ් මලාන් නොදැවී 80, ජෝ රූට් නොදැවී 86)

 


අදහස් (0)

මලාන් - රූට් එංගලන්තය බේරාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.