Last Update  :  2024-04-30 15:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පිතිකරුවෝ අවස්ථාව ග්‍රහණය කරගනිති
චැටෝග්‍රෑම් ටෙස්ට් තරගය

පිතිකරුවෝ අවස්ථාව ග්‍රහණය කරගනිති

editorial - 2024 මාර් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම - දමින්ද විජේසූරිය)

 

දුඹුරු පැහැය වැඩි වශයෙන් රැඳී තණතීරුවකදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයාගේ තීරණය සම්පූර්ණයෙන්ම සාධාරණීකරණය කළ දිමුත් කරුණාරත්න ඇතුළු ඉදිරිපෙළ පිතිකරුවෝ බංග්ලාදේශයේ චැටෝග්‍රෑම් නුවරදී අද ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ ක්‍රීඩාව නතර කිරීමට පෙර ලකුණු 314 ක් ලබාගත්හ. ඕවර 90 කට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි වූයේ කඩුලු 4 ක් වුවද, තණතීරුවේ ස්වභාවය අනුව නම් ශ්‍රී ලංකා පිලට මීට වඩා ලකුණු සංඛ්‍යාවක් ලබාගත හැකිව තිබිණ. 

චැටෝග්‍රෑම් තණතීරුව පිතිකරුවන්ගේ පරාදීසයකි. 

පළමු ටෙස්ට් තරගය පැවැති සිලත් නුවරදී තණතීරුවත් පිටියේ අනෙක් කොටසත් වෙන්කර හඳුනාගත නොහැකි තරමට තණකොළ තිබූ නමුත් චැටෝග්‍රෑම් තණතීරුව ඊට හාත්පසින්ම වෙනස්, බෙහෙවින් වියලි, දුඹුරුපැහැ ගත් තණතීරුවකි. තරගයේ පළමු දිනය වූ අදම තණතීරුවේ අනපේක්‍ෂිත දඟකැවීම් පවා දක්නට ලැබිණ. 

පළමුවෙන්ම පිතිහරඹයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න සහ නිශාන් මධුෂ්ක එක්ව දිවා ආහාරයට පෙර ලකුණු 88 ක් එකතු කළහ. පන්දු 93 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ දකුණත් පිතිකරුවා ලකුණු 57 ක් ලබා සිටියදී දුවද්දී දැවී ගිය නමුත් දිමුත් දිගටම පිටියේ රැඳී සිටියේය. 

තම 17 වැනි ටෙස්ට් ශතකය කරා යමින් සිටි දිමුත් කරුණාරත්න ශතකය පෙනි පෙනීම ලකුණු 86 කට දැවී ගියේ කෝඩුකාර හසන් මහමුද්ට මංගල ටෙස්ට් කඩුල්ල පිරිනමමිනි. දිමුත්ගේ පිට ඉන්නට ඈතින් වැටුණු පන්දුවට කට් පහරක් ගැසීමට වමත් පිතිකරුවා උත්සුක වූ නමුත් පිත්තේ යටි පැත්තේ දාරයේ වැදුණු පන්දුව කඩුල්ලට කඩා වැදුණේය. ඒ සමගින් දෙවැනි කඩුල්ල වෙනුවෙන් දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් එක්ව ගොඩනැංවූ ලකුණු 114 ක සම්බන්ධතාවත් නිමා විය. 

දිමුත් - කුසල් සම්බන්ධතාව පවතිද්දී ඉතාමත් හොඳ වේගයකින් ලකුණු ගලා ආවේය. දෙදෙනාම චිත්තාකර්ශනීය පහර රැසකින් බංග්ලාදේශ පන්දු යවන්නන්ට සංග්‍රහ කළා පමණක් නොව දුර්වල පන්දුව දුටුතැන පහරදීමටත් අතපසු නොකළහ. දෙදෙනාගේම කඩුලු දවාගැනීමට බංග්ලාදේශීන් කොතෙක් වෑයම් කළාද යත් තේ පානයෙන් මඳ වේලාවකට පසුව බංග්ලාදේශයට තිබූ දෙවැනි විතීවි අවස්ථාවත් නිකරුණේ ගිළිහී ගියේ කුසල් මෙන්ඩිස් දවාගැනීමට ගත් උත්සාහයන් දෙකක්ම අසාර්ථක වූ බැවිනි. මෙහෙදි හසන්ගේ ඉල්ලීමක් තුන්වැනි විනිසුරුවරයාත් නිෂ්ප්‍රභා කරන විට කුසල් මෙන්ඩිස් ලකුණු 86 ක් ලබා සිටි නමුත් ශතකය ලබාගැනීමට පෙර ශ්‍රී ලංකා කඩුලු රකින්නාව පිටියෙන් ඉවත් කිරීමට සකීබ් අල් හසන්ට හැකි විය. 

තරමක් ඉපිළෙමින් හොඳින් දඟ කැවුණු පන්දුව, මෙන්ඩිස්ගේ පිත්තේ පිටත දාරයේ ගැටී දෙවැනි ස්ලිප් හි සිටි මෙහෙදි හසන්ගේ දෑත් අතර සැඟව ගියේ දෙපාමුළ තිබූ ශතකය පිතිකරුවාට අහිමි කරමිනි. 

ඇන්ජලෝ පිටියට පිවිසි විගසින්ම අලංකාර හයේ පහරකින් ලකුණු අතරට පිවිසි නමුත් දෙවැනි නව පන්දුව ඔහුගේ ගමන නතර කළේය. පන්දු 65 කින් ලකුණු 23 ක් ලබා සිටි නමුත් දෙවැනි නව පන්දුවෙන් මැතිව්ස් මුහුණ දුන්නේ පන්දු 6 කට පමණි. කෝඩුකාර හසන් මහමුද්ට දෙවැනි කඩුල්ලත් තිළිණ කරමින් මැතිව්ස් දැවී ගියද, දිනේෂ් චන්දිමාල් (නොදැවී 34) සහ ධනංජය ද සිල්වා (නොදැවී 15) ශ්‍රී ලංකා පිල ලකුණු 300 කඩඉමෙන් එපිටට කැඳවාගෙන ගියහ. 

පළමු තරගයේදී ක්‍රීඩා කළ 11 දෙනා අතුරින් කසුන් රාජිත හැරෙන්නට අනෙක් 10 දෙනාම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරති. කසුන් රාජිතගේ ස්ථානය අසිත ප්‍රනාන්දුට හිමිවී තිබේ. ප්‍රභාත් ජයසූරිය එකම දඟ පන්දු යවන්නා වූවත් නායක ධනංජයට මෙන්ම කමිඳු මෙන්ඩිස්ටත් දඟ පන්දු යැවීමේ හැකියාව තිබේ. ඇන්ජලෝ මැතිව්ස් ඕවර කිහිපයක් යවන්නේ නම්, ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු යැවීමේදී විකල්ප 7 ක් තිබේ.

බංග්ලාදේශ කණ්ඩායමේ එක කෝඩුකාරයෙකි. වේග පන්දු යවන්නෝ දෙදෙනෙකි. කාලිඞ් අහමඞ් හැරෙන්නට කණ්ඩායමේ සිටින එකම වේග පන්දු යවන්නා වන්නේ කෝඩුකාර හසන් මහමුද්ය. හිටපු නායක සකිබ් අල් හසන් ද ඇතුළුව බංග්ලාදේශ කණ්ඩායමේ දඟ පන්දු යවන්නෝ තිදෙනෙකි. 

තරගාවලියේ පළමු තරගය ජයගත් ශ්‍රී ලංකාව 1-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටී. 

 

- 213


අදහස් (0)

පිතිකරුවෝ අවස්ථාව ග්‍රහණය කරගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.