Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පාකිස්තානුවෝ බලාපොරොත්තු රඳවාගනිති
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

පාකිස්තානුවෝ බලාපොරොත්තු රඳවාගනිති

editorial - 2023 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පාකිස්තානය සහ බංග්ලාදේශය අතර කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී අද (31 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් විය. ‍පාකිස්තානය මෙවර තරගාවලියේදී ලැබූ තෙවැනි ජය මෙය වූ අතර මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානය දක්වා පියවර 2 ක් ඉදිරියට පැමිණී ඔවුහු, තවදුරටත් අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු රඳවාගත්හ.

ජයග්‍රහණය සඳහා ලකුණු 205 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානුවෝ, ඕවර 32.3 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. අබ්දුල්ලා ශෆීක් (68) සහ ෆකාර් සමාන් (81) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 127 කදී ලකුණු 128 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ.

පන්දු 74 කට මුහුණදුන් ෆකාර් හයේ පහර 7 කින් සහ හතරේ පහර 3 කින් සිය 16 වැනි එක්දින අර්ධ ශතකය සැරසූ අතර පන්දු 69 කින් ලබාගත් සිවුවැනි එක්දින අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 9 කින් අලංකාර කිරීමට ශෆීක් සමත් විය. මොහොමඩ් රිස්වාන් පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේ පන්දු 21 කදී හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 26 රැස්කරමිනි.  

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශයට පාකිස්තාන පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 45.1 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 204 ක් පමණි. බංග්ලාදේශ ඉනිම වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මහමදුල්ලා රියාද් පන්දු 70 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 56 ක් රැස්කළේය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශහීන් අ‍ෆ්රිඩි නිලකුණු ඕවරයක්ද සමග ඕවර 9 ක් යවමින් ලකුණු 23 කට කඩුලු 3 ක් දවාගත් අතර මොහොමඩ් වසීම් ලකුණු 31 කට කඩුලු 3 ක් බිඳහෙළමින් බංග්ලාදේශය ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා අෆ්රිඩිට අනගි සහායක් දුන්නේය. හාරිස් රවුෆ් කඩුලු 2 ක් දවාගත්තේ ලකුණු  36 ක් ලබාදෙමිනි.

බංග්ලාදේශය - ඕවර 45.1 කදී සියලු දෙනා දැවී 204
(ලිටන් දාස් 45, මහමදුල්ලා රියාද් 56, සකීබ් අල් හසන් 43, මෙහෙදි හසන් මිරාස් 25, ශහීන් අෆ්රිඩි 23/3, මොහොමඩ් වසීම් 31/3, හාරිස් රවුෆ් 36/2)  

පාකිස්තානය - ඕවර 32.3 කදී කඩුලු 3 ක් දැවී 205
(අබ්දුල්ලා ශෆීක් 68, ෆකාර් සමාන් 81, මොහොමඩ් රිස්වාන් නොදැවී 26, මෙහෙදි හසන් මි‍රාස් 60/3)


අදහස් (0)

පාකිස්තානුවෝ බලාපොරොත්තු රඳවාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.