Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පාකිස්තානය එංගලන්තයට අනතුරු අඟවයි

පාකිස්තානය එංගලන්තයට අනතුරු අඟවයි

editorial - 2021 සැප් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ශීක් රෂීඞ් අහමඞ් මහතා...

 

21 වැනිදා (ලන්ඩන්) - ඒ.එෆ්.පී.

ලබන මාසයේදී පැවැත්වීමට නියමිත පකිස්තානු සංචාරයෙන් ඉවත් වුවහොත් ඉදිරියේදී “ඇතිවිය හැකි තත්ත්වයන්ට මුහණ දීමට සූදානම් වන්න” යයි පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය එංගලන්ත ක්‍රිකට් බලධාරීන්ට අනතුරු අඟවා තිබේ.

එංගලන්තයේ කාන්තා සහ පිරිමි කණ්ඩායම් සමග විස්සයි-20 අන්තර්ජාතික තරග 4 ක් ලබන ඔක්තෝබර් 13 සහ 14 දිනවල පාකිස්තානයේ රාවල්පිණ්ඩි නුවරදී පැවැත්වීමට නියමිතව තිබිණ. ඒ ලබන මාසයේදීම පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පෙරහුරුවක් ලෙසිනි. මෙම තරගාවලියෙන් අනතුරුව එංගලන්ත නායිකා හෙදර් නයිට්ගේ කණ්ඩායම පාකිස්තානු කාන්තා පිලට එරෙහිව එක්දින තරග 3 කටද සහභාගි වීමට සූදානමින් සිටියහ.

කෙසේ වෙතත් එංගලන්ත කාන්තා පිලේ මුල්ම පාකිස්තානු සංචාරයත්, වසර 16 කට පසුව එංගලන්ත ජාතික කණ්ඩායමක් පාකිස්තානයට පැමිණීමට කළ සූදානමත් යන දෙකම මේ වන විට දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්වී තිබේ. ඊට පසුබිම සපයා ඇත්තේ නවසීලන්ත කණ්ඩායම පසුගිය සිකුරාදා හදිසියේම සිය පාකිස්තානු සංචාරය අතරමග නවතා දමා ආපසු සියරට බලා යාමයි.

නවසීලන්තය ආපසු ගෙදර ගියේ ආරක්‍ෂක හේතුන් මත යයි නවසීලන්ත ක්‍රිකට් බලධාරීහු කියති. මෙම තීරණය වෙනුවෙන් නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඞ්න් මහත්මියගේ පූර්ණ අනුමැතිය හිමිවී තිබේ.

එහි පසු ප්‍රතිඵලයක් ලෙසින් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කළේ “අකමැත්තෙන් වුවත්, ඔක්තෝබර් මාසයට නියමිතව තිබූ පාකිස්තානු සංචාරයෙන් ඉවත් වීමට තීරණය කළා” යනුවෙනි.

“(ආසියානු මහාද්වීපයේ පිහිටි) මෙම කලාපයට ගමන්කිරීම සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන්න සිදුවී තිබෙනවා. එවැනි තත්ත්වයක් මත මෙම සංචාරයට සහභාගි වීම ක්‍රීඩකයන් වෙත ඇතිකරනු ලබන පීඩනය තවදුරටත් වැඩිවීමක්. ක්‍රීඩකයන් දැනටමත්, කොවිඞ් - 19 නීති රෙගුලාසි අනුව දීර්ඝ කාලයක් විවිධාකරයේ සීමා බන්ධන වලට යටත් වී සිටිනවා” යයි එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩල නිවේදනයේ සටහන් වේ.
එංගලන්තයේ නිවේදනය සම්බන්ධයෙන් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය කෝපාවිෂ්ඨ වී සිටී.

පාකිස්තානුවන්ගේ තර්කය වන්නේ පසුගිය වසරේදී (2020) කොරෝනා වයිරසය සම්බන්ධයෙන් දැඩි සීමා - රෙගුලාසි තිබියදීත්, පාකිස්තානු පිල එංගලන්තයේ සංචාරය කිරීමට ඉදිරිපත් වීම නිසා එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයට පවුම් මිලියන ගණනක් ඉතිරි කරගත හැකිවූ බවයි.

“අපි ඔවුන්ට කිසිම සිත්තැවුලක් ඇති වෙන්නට දෙන්නේ නෑ. සෑම සියලු ආකාරයෙන්ම ඔවුන් සතුටින් තැබීමට අපි සූදානම්. අපි ඉතාමත් හොඳ සත්කාරකයන්. ඒත් අපි එහේ ගියාම ඔවුන්ගේ ඇණුම් බැණුම් ඉවසාගෙන, නීති රීති වලටත් යටත් වෙලා ඉන්න ඕනේ”

“අපිව මේ විදිහට ප්‍රතික්ෂේප කරන්න ගියොත්, අපි ඉදිරියේදීත් ඔවුන්ව මෙහි ගෙන්වන්නේ නෑ” යයි පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති රමීස් රාජා මහතා පැවසීය.

වසර 2009 ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායම ගමන්ගත් බස්රියට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා පාකිස්තානය නුසුදුසු තත්වයේ පවතින රටක් ලෙසින් වර්ගීකරණය විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් වසර 2012 දී සහ 2015 දී එංගලන්ත කණ්ඩායම කැඳවමින් පාකිස්තානය සත්කාරකත්වය දැරූ තරගාවලි දෙකක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්විණ. පසුව පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ නිල නිවහන බවට පත්වූයේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මූලස්ථානය පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.

කෙසේ වෙතත් පාකිස්තානයේ ආරක්‍ෂක තත්ත්වය ඉහළ යාමත් සමගින් පසුගිය වසර 6 ක කාලයේදී සිම්බාබ්වේ, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය පාකිස්තානයේදී අන්තර්ජාතික තරගාවලි වලට සහභාගි වූහ.

“වසර 6 ක් පුරා පිටුවහල් කළ f්දශයක් ලෙසින් සැලකුණු පාකිස්තානයත්, පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයත්, ගණන් කරන්න බැරි තරම් කැපවීම් කරලා තියෙනවා. කොවිඞ් කාලයේදීත් අපි තැන තැන ගියේ ක්‍රීඩාව ඉදිරියට පවත්වාගෙන යන්නයි..... ඒත් අපට ඔබලාව ඕනෑ කළ අවස්ථාවේදී අපිව අසරණ කරන්න එපා” යයි පාකිස්තානු පිලේ ආරම්භක පිතිකරු ශාන් මසූඞ් ප්‍රංශ පුවත් සේවයට පැවසීය.

එංගලන්තයේ හිටපු නායක මයිකල් වෝන් ප්‍රශ්න කරන්නේ එංගලන්තය සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත මෙම තරගාවලි දෙකම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙන යන්න බැරි ඇයිද කියාය.

“දුෂ්කර වෙලාවලදී ක්‍රිකට් ප්‍රජාව එක්විය යුතුයි. ඒත් එංගලන්තය සහ නවසීලන්තය මේ වෙලාවේදී අපට උදව් කළේ නැතිනම්, ඒක අනෙක් කණ්ඩායම් වලිනුත් දිගින් දිගටම සිදුවිය හැකියි” යයි ද රමීස් රාජා මහතා පැවසීය.

එංගලන්ත කණ්ඩායම ලබන වසරේදීත් (2022) පාකිස්තානයේදී එක්දින තරග 5 කට සහ ටෙස්ට් තරග 3 කට ක්‍රීඩා කිරීමට නියමිතය. එය 2020 සහ 2021 වසර වලදී පාකිස්තානය එංගලන්තයේ සංචාරය කිරීමට පිළිතුරු ලෙසින් සකස් කළ තරගාවලියකි.

ලබන වසරේ පෙබරවාරි සහ මාර්තු මාසයේදී පාකිස්තානයේ සංචාරය කිරීමට නියමිත ඕස්ටේ්‍රලියාවද පාකිස්තානයේ ආරක්‍ෂක තත්ත්වය ගැන විමසිල්ලෙන් සිටින බව කියයි.

රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණය...
 

- 213

 


අදහස් (0)

පාකිස්තානය එංගලන්තයට අනතුරු අඟවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.