Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පාකිස්තාන ක්‍රීඩිකාවෝ 3-0 කින් ශ්‍රී ලංකාව පරදවති
පාකිස්තානු සංචාරය

පාකිස්තාන ක්‍රීඩිකාවෝ 3-0 කින් ශ්‍රී ලංකාව පරදවති

editorial - 2022 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කඩුලු අතර දිවයෑමේදී පිතිකාරිණියන් අතර පැවැති දුර්වල සන්නිවේදනය හේතුවෙන් කරච්චිහිදී පැවැති තෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කාන්තා කණ්ඩායම අද (28 වැනිදා) සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැති විස්සයි-20 තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමටද පාකිස්තාන ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 108 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන ක්‍රීඩිකාවෝ කඩුලු 6 ක් පමණක් දැවී අවසන් පන්දුවේදී එම ඉලක්කය සපුරාගත්හ. තරගය ජය ගැනීමට අවසන් පන්දුවේ ලකුණු 2 ක් රැස්කිරීමට සිදුවූ අතර පහසුවෙන්ම ඊට ලකුණු 2 ක් ලබාගත් නායිකා බිස්මා මරූෆ් පාකිස්තාන කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියාය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඕෂධී රණසිංහ සිය ඕවර 4 ලකුණු 18 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත් අතර කවීෂා දිල්හාරි ලකුණු 28 කට කඩුලු 2 ක් බිඳහෙළුවාය. සිය ඕවර 4 දී පිතිවාදී පිතිකාරණියන්ට ලකුණු 13 ක් පමණක් ලබාදුන් සුගන්දිකා කුමාරිද කඩුල්ලක් දවාගත්තාය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පිතිකාරිණියන් 5 දෙනෙක්ම දුවද්දී දැවීයෑම්වලට හසුවීම හේතුවෙන් ඕවර 20 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 107 ක් පමණි. හසිනි පෙරේරා (24), ඕෂධී රණසිංහ, හර්ෂිතා මාධවී (1), අමා කාංචනා (2) සහ සුගන්දිකා කුමාරි (10) එහිදී දුවද්දී දැවී ගිය ක්‍රීඩිකාවෝ වූහ.

පෙර තරග දෙකේදීම ආසාර්ථක වුවද, මෙම තරගයේදී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ නායිකා චමරි අතපත්තු පන්දු 38 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 37 ක් රැස්කළාය. හසිනි පෙරේරා සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 67 කදී ලකුණු 69 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද චමරි සමත් වූවාය.


ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 107
(හසිනි පෙරේරා 24, චමරි අතපත්තු 37, අනුෂ්කා සංජීවනී නොදැවී 14)

පාකිස්තාන කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 108  
(මුනීබා අලී 25, ආලියා රිසා 17, නිඩා ඩාර් 14, බිස්මා මරූෆ් නොදැවී 15, ඕෂධී රණසිංහ 18/3, කවීෂා දිල්හාරි 28/2)

-036
 


අදහස් (0)

පාකිස්තාන ක්‍රීඩිකාවෝ 3-0 කින් ශ්‍රී ලංකාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.